Sunday, May 12, 2013

තොරතුරු පද්ධති (Information Systems)

පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රයා කරන්නා වූ සම්පත් සමූහයකි. ඕනෑම පද්ධතියක ආදානයක්, සැකසුමක් හා ප්‍රතිදානයක් හඳුනාගත හැක.  පද්ධතියක් විවෘත හා සංවෘත ලෙසද, ස්වභාවික සහ කෘතිම ලෙසද වර්ග කළ හැක.

යම්කිසි පද්ධතියක් නිර්මාණය කිරීමේදී එම පද්ධතිය බිහිවීම සඳහා කිසියම් අවශ්‍යතාවක් ඇතිවී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මානව ස්නායු පද්ධතිය නිර්මාණයේ අවශ්‍යතාව සලකා බලමු. මිනිස් සිරුර තුළ ඇති එක් එක් ඉන්ද්‍රිය මඟින් ජනිත කරන්නා වූ සංඥා ඔබ මොබ ගෙනයාමේ අවශ්‍යතාව ඉටු කර ගැනීම උදෙසා මානව ස්නායු පද්ධතිය බිහි වී ඇත. මානව ස්නායු පද්ධතිය සුවිශේෂී සෛල රාශියක්, ජාලයක් ලෙස සකස් වීමෙන් ජීවියාගේ වටා පිටාව හා ජීවියා තුළ සංඥා එහා මෙයා ගෙනයාමේ අවශ්‍යතාව ඉටු කරයි. එනම් එය කිසියම් අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා ස්වභාවිකවම නිර්මාණය වී ඇත.

පද්ධති න්‍යාය සැලකීමේදී ලෝකය කොටස් කීපයක් එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ පද්ධතියක් ලෙස දැක්විය හැකිය. අප පද්ධතියක විෂය පථය නිර්වචනයේදී එයට සීමාවක් ගෙනහැර පෑමේ අදහස් වනුයේ පද්ධතිය තුළ ඇති වස්තූන් හා පද්ධතියට පිටින් ඇති වස්තූන්ගෙන් වෙන්කර හඳුනාගැනීමයි. ඉන් පසු අපට හඳුනාගැනීමට පහසු වන පරිසි ලිහිල් තල ආදර්ශනයක් මඟින් එම පද්ධතිය නිර්මාණය කර එමඟින් එම පද්ධතියෙහි අනාගත හැසිරීම පුරෝකථනය කළ හැක.



පද්ධති අධ්‍යයනයේදී ස්වභාවික පද්ධති මෙන්ම මිනිසා විසින් සකල් කළ පද්ධති ද අපට හඳුනා ගත හැක. රුධිර සංසරණ පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, පරිසර පද්ධතිය ආදිය ස්වභාවික පද්ධතිවලට උදාහරණ වන අතර පරිගණක පද්ධතිය, නීති පද්ධතිය, පාසල් පද්ධතිය මිනිසා විසින් සාදන ලද පද්ධති සඳහා උදාහරණ වේ. ස්වභාවික පද්ධතිද සජීවි සහ භෞතික ලෙස වෙන්කර දැක්විය හැක.

සියලුම පද්ධති නිර්මාණය වී ඇත්තේ එකිනෙකට සම්බන්ධ වී සාමූහිකව ක්‍රියා කරන කොටස් කීපයක් මඟින් වේ. ජීවි පද්ධතිය සඳහා උදාහරණයක් ලෙස පරිසර පද්ධතිය ගතහොත් පරිසරය යනු ගස්වැල්, ජලය, වාතය, සූර්යයා, ජීවින් යන සියල්ලන්ගේම එකතුවකි. මෙයින් එක් අංගයක නිමාව සම්පූර්ණ පද්ධතියෙහිම ක්‍රියාකාරීත්වය ගැටළුකාරී තත්වයකට පත්වීමට සාධකයක් වනු ඇත. විදුලි සංදේශ පද්ධතිය යනු සම්ප්‍රේෂකය (transmitter), සන්නිවේදක මාධ්‍ය (transmission medium) සහ ග්‍රාහකයා (receiver) යන අංගයන්හී එකතුවයි. මින් එක් අංගයක් හෝ ක්‍රියා විරහිත වූ විට එම සම්පූර්ණ පද්ධතියම අඩාලත්වයට පත්වේ. මෙහිදී අවධාරණය කළ යුතු අනෙකුත් කරුණ වන්නේ කිසියම් පද්ධතියක් අනු කොටස් වලට බෙදිය හැකි බවත්, මෙම අනුකොටස් වලටද පද්ධතියක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවත්ය.


3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. I really like reading through a post that can make people think. Also, many thanks for permitting me to comment!
    go here

    ReplyDelete