Friday, May 10, 2013

පරිගණකයේ ඉතිහාසය.


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය ප්‍රධාන කාල වකවානු හතරකට බෙදිය හැකිය.
  1. පූර්ව යාන්ත්‍රික යුගය (1450ට පෙර)
  2. යාන්ත්‍රික යුගය (1450-1840)
  3. විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840-1940)
  4. විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)
  • ක්‍රි. පූ. 3000 පමණ ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිතා කළ බව කියැවේ.
  • 1642 දී බ්ලේස් පැස්කල්  (Blaise Pascal) විසින් ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය වන පැස්කලයින් (Pascaline) යන්ත්‍රය සොයා ගන්නා ලදී. ඉන් සිදුකළහැකිවූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි.
  • 1674දී ගොඩ්ෆිඩ් විල්හෙල්ම් වොන් ලිබ්නිස්ට් (Gottfried Wilhelm Von Leibnitz) නමැති ජර්මන් ජාතික විද්‍යාඥයා පැස්කලයින් යන්ත්‍රය වැඩිදියුණු කොට ගුණ කිරීම සහ බෙදීම කළ හැකි තත්වයකට පත් කළේය. මේ සඳහා සිදුරුපත් (Punch Cards) නමැති සංකල්පය භාවිතා කර ඇත.
  • 1830 දී චාල්ස් බැබේජ් (Charles Babbage) විසින් ගණිත කර්ම කළ හැකි සහ දත්ත ගබඩා කළ හැකි විශ්ලේෂක එන්ජිම (Analytical Engine) නිර්මාණය කරන ලදී. අද භාවිතා වන පරිගණකවල ඇති ව්‍යුක්ත ආකෘති (Input, Process, Output) සංකල්පය පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මොහු විසිනි. එනිසා සමහරෙක් ඔහු "පරිගණකයේ පියා" ලෙස හඳුන්වති. ඔහුගේ එම කාර්යයට සහාය වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව (Lady Ada Augasta Lovelace) ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව ලෙසද හැඳින්වේ.
  • 1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගැනීම නූතන පරිගණක තාක්ෂණය සඳහා මුල්ගල තැබීමක් විය.
  • 1939දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ හොවර්ඩ් ඒකන් (Howard Aiken) විසින් ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය වන "ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය" (Automatic Sequence Controlled Calculator) නැතහොත් මාර්ක් 1 (Mark 1) නිපදවන ලදී.
  • 1946 දී නිපදවන ලද එනියැක් (ENIAC - Electronic Numerical Integrator and Calculator) යන්ත්‍රය පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිය පරිගණකය ලෙස හැඳින්විය.
  • 1949 දී නිපදවන ලද එඩ්වැක් (EDVAC - Electronic Discrete Variable Automatic Computer) යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිය පරිගණකය ලෙස සැලකේ.
  • 1947 දී ට්‍රාන්සිස්ටරයේ උපතත් සමඟ පරිගණකයේ පළමු පරම්පරාව අවසාන විය. (1940-1956) පරිගණකයේ පළමු පරම්පරාව ලෙසින් සැලකේ.
  • ට්‍රාන්සිස්ටර යොදාගෙන තැනූ පරිගණක දෙවන පරම්පරාවේ පරිගණක ලෙසින් සැලකේ.
  • 1964 දී ට්‍රාන්සිස්ටරවල එකතුවෙන් සෑදූ අනුකලිත පරිපථවල (IC - Integrated Circut) පැමිණීමත් සමඟ පරිගණක ප්‍රමාණයෙන් සහ මිලෙන් අඩු වූ අතර ඒවායේ වේගය වැඩි විය. අනුකලිත පරිපථ යොදාගෙන තැනූ පරිගණක තුන්වල පරම්පරාවේ (1964-1971) පරිගණක ලෙස හැඳින්වේ. කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්යය ඉටුකිරීමට සමත් සිලිකන් චිප (Silicon Chips) නිපදවීමට ද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැඩිදියුණු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස LSI (Large Scale Integration) හා VLSI (Very Large Scale Integration) නම් චිප බිහිවිය.
  • මෙම කාලවකවානුවේදී දහස් ගණන් අනුකලිත පරිපථ, සිලිකන් චිපයක් තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණය දියුණු වීමත් සමඟ, ක්ෂුඳු සකසනය (Processor) බිහි විය. මේවා යොදා තැනූ පරිගණකවල වේගය හා කාර්යක්ෂමතාව බෙහෙවින් වැඩි වූ අතර, මිල හා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය. 1975දී MIT ආයතනය මඟින් ALTAIR 8800 ක්ෂ්ද්‍ර පරිගණකයක් නිපදවන ලදී. මේ අතර 1976 දී IBM සමාගම, IBM-PC නමින් ප්‍රථම පුද්ගල පරිගණකය නිපදවන ලදී. ඉන්පසු ඇපල් පරිගණක සමාගම විසින් 1984 දී Macintosh පරිගණකය නිපදවීම පරිගණක ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයකි.
හතරවන පරම්පරාවට අයත් පරිගණක භාවිතා කරන්නාට ඉතා සිත් ඇදගන්නාසුළු ආකර්ෂණීය වූ චිත්‍රක අතුරු මුහණත් යොදා (GUI-Graphical User Interface) සංවර්ධනය කළ ඒවා විය.

ඇපල් සහ IBM සමාගම්, පුද්ගල පරිගණක නිෂ්පාදකයන් අතර ප්‍රකට විය. IBM සමාගමේ සකසන සැපයුම්කරුවා වූයේ Intel සමාගමයි. Intel, Cyrix, IDT, AMD සහ Motorola යන සමාගම් සකසන නිපදවන ආයතනයන් වේ.

පරිගණක තාක්ෂණයේ අනාගත දිශානති.

බුද්ධිමත් මිනිසෙකුගේ ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන පරිගණකයක් නිපදවීම වර්තමාන විද්‍යාඥයින්ගේ බලාපොරොත්තුවයි. පරිගණක විද්‍යාවේදී මෙම ක්ෂේත්‍රය කෘතිම බුද්ධිය (Artificial Intelligence) ලෙස හැඳින්වේ. එකම අවස්ථාවේදී වෙනස් සිතුවිලි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තීරණ ගැනීම, කටහඬවල් වෙන වෙනම අඳුනාගැනීම ආදී සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකිය. රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය වාහන නිපදවීම වැනි දේවල් කෘතිම බුද්ධිය උපයෝගී කොටගෙන දැනටමත් සිදුවෙමින් පවතී.
අණුක පරිගණක (Molecular Computer)/DNA පරිගණක වැනි ජෛව පරිගණක (Biological Computers) තාක්ෂණයන් පිළිබඳ සංකල්ප දැනටමත් බිහිවෙමින් පවතින අතර, අනාගතයේදී ඒවා යථාර්ථ බවට පත්විය හැක. තවද වසර 2015 පමණ වන විට ලොව ප්‍රථම ක්වන්ටම් (Quantum) පරිගණකය ඉදිරිපත් කිරීම විද්‍යාඥයින්ගේ එක් අරමුණක් වී ඇත. මේවා පස්වන පරම්පරාවේ අභිමතාර්ථ ලෙස සැලකිය හැකිය.

සකසන වල පරිණාමය.


ට්‍රාන්සිස්ටරය

ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමට පෙර පරිගණකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්ව ය. මෙම වෑල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් රත්වී පිලිස්සීයාම නිසා බොහෝ ගැටලු ඇති විය. ට්‍රාන්සිස්ටර කීපයක් එකතුකර තැනූ පරිපථයක්, චිපයන් නමින් හැඳින්වේ. මෙම චිප යොදාගැනීමෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකි විය. මෙම චිප තුළ අර්ධ සන්නායක තාක්ෂණයෙන් නිපද වූ පරිපථ විශාල සංඛ්‍යාවක් ඇත.



තර්ක කුල (Logic Families)

  1. Diode Logic/Diode Resistor Logic (DL/DRL)
  2. Direct Coupled Transistor Logic (DCTL)
  3. Resistor Transistor Logic (RTL)
  4. Resistor Capacitor Transistor Logic (RCTL)
  5. Diode Transistor Logic (DTL)
  6. Emitter Coupled Logic (ECL)
  7. Transistor Transistor Logic (TTL)
  8. CMOS Logic (Complementary Metal Oxide Semiconductor)

සකසනයක පිරිවිතර.

බසය (BUS)

පරිගණකයක් තුළ උපාංග අතර හෝ පරගණක අතර උපාංග තුළ දත්ත සංඥය වශයෙන් විදුලිය ගමන් කරන භෞතික මාර්ගය බසය ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් බස් ප්‍රභේද තුනකි.

1. දත්ත බසය (Data Bus)
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යන බසය මේ නමින් හැඳින්වේ.

2. යොමු බසය (Address Bus)
මතකයේ තිබෙන දත්ත කියවීම සඳහා හෝ මතකයට දත්ත ලිවීම සඳහා හෝ කිසියම් ස්ථානයක් තෝරාගනු ලබයි. මෙම ස්ථානයේ ලිපිනය කරා දත්ත යොමු කරනු ලබන්නේ යොමු බසය මඟිනි.

3. පාලන බසය (Control Bus)
පාලන බසය මඟින් පරිගණකයේ විවිධ ස්ථානවලට පාලන සංඥා ගෙනයනු ලැබේ.

රෙජිස්තර (Registers)

ගණිත හා තාර්කික ඒකකයේ සංඥා තාවකාලිකව ගබඩා කර තැබීම සඳහා භාවිතා කරන ස්ථානය රෙජිස්තර ලෙස හැඳින්වේ.

සකසනයක හෝරා සීඝ්‍රතාව (Clock Speed of CPU)

සකසනයකට ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කරන වේගය එහි සීඝ්‍රතාව ලෙස සැලකේ. නවීන පරිගණකයක හෝරා සීඝ්‍රතාව මෙගා හර්ට්ස් (MHz) හෝ ගිගා හර්ට්ස් (Ghz) වලින් මනිනු ලැබේ.

පරිගණක වදනක ප්‍රමාණය (Word Size)

පරිගණකයක භාවිත වන යන්ත්‍ර භාෂාවේ වචනයක අඩංගු බිට් ගණන එහි විශාලත්වය හෙවත් වදන් ආයාමය වශයෙන් සැලකේ.

පරිගණක වර්ගීකරණය.

පරිගණක වර්ගීකරණය ආකාර කිහිපයකින් දැක්විය හැකිය.
  1. විශාලත්වය අනුව
  2. භාවිතා කරන තාක්ෂණය අනුව
  3. භාවිතා කරන කාරණය අනුව.
1. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය.
  •  සුපිරි පරිගණක (Super Computers)
  • මේන්ෆ්‍රේම් පරිගණක (Main Frame Computers)
  • මිනි පරිගණක (Mini Computers)
  • මයික්‍රෝ පරිගණක (Micro Computers)
 2. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය.
  • සංඛ්‍යාංක පරිගණක (Digital Computers)
  • ප්‍රතිසම පරිගණක (Analog Computers)
  • දෙමුහුම් පරිගණක (Hybrid Computers)
3. භාවිතා කරන කාරණය අනුව පරිගණක වර්ගීකරණය.
  • පොදු කාර්යය (General Purpose)
  • විශේෂ කාර්යය (Special Purpose)
ක්ෂුද්‍ර පරිගණක වර්ගයට ගැනෙන පුද්ගල පරිගණක (Personal Computers) පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය.

  • ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computers)
  • වැඩහල් (Workstations)
  • ලැප්ටොප් පරිගණක (Laptop Computers)
  • පාම්ටොප් පරිගණක (Palmtop Computers)
  • නෝට්බුක් පරිගණක (Note Book Computers)
  • පුද්ගල සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant or Digital Diary - PDA)
  • සාක්කු පරිගණක(Pocket Computers)

7 comments: