Saturday, May 11, 2013

දත්ත කළමනාකරණය.

දත්ත යනු අප හැම දෙනාටම හුරු පුරුදු වචනයකි. පුද්ගලයෙකුගේ වයස, භාණ්ඩයක මිල, පාසලක සිටින ළමුන් සංඛ්‍යාව ආදිය අපට නිතර හමුවන දත්ත කිහිපයකි. එදිනෙදා ජීවිතයේදී අපට නිතර මතකයේ රැඳෙන දත්ත සමූහයක් ඇත. උදාහරණයක් ලෙස නම, උපන් දිනය, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම් ආදිය දැක්විය හැකිය.  නමුත් විශාල දත්ත ප්‍රමාණයක් එකවර මතක තබාගැනීම අපහසු කාර්යයකි. උදාහරණයක් ලෙස පාසැලක සිටින සියලු ළමුන්ගේ දත්ත, වෙළඳසැලක පවතින සියලු ම භාණ්ඩ මිල ගණන් ආදිය දැක්විය හැක. එබැවින් මෙවැනි කාර්යයන් පහසු කරගැනීම සඳහා සහ දත්ත සංවිධානාත්මකව ගබඩා කර තැබීම සඳහ දත්ත සමුදායක් භාවිතා කරනු ලබයි.

දත්ත සමුදායක් යනු ව්‍යුහගත ආකාරයකට පවතින තොරතුරු සමූහයකි. මෙය සම්ප්‍රදායානුකූල ක්‍රම භාවිතයෙන් සහ පරිගණක තාක්ෂණය භාවිතයෙන් කළමනාකරණය කළ හැකිය. නමුත් සම්ප්‍රදායානුකූල ක්‍රමයේ දී කාලය, ශ්‍රමය, භෞතික ඉඩ ප්‍රමාණය වැනි දෑ වැඩි වශයෙන් වැය වන අතර පරිගණක ගත කළමනාකරණයේ දී ඉහත දැක් වූ අඩුපාඩු අවම කරගත හැකි අතර වඩාත් නිවැරදි ආකාරයට එම කටයුතු කළ හැකිව ඇත.
පරිගණක ගත ක්‍රමයේ ආකාර කීපයක් ඇත. පහත දැක්වෙන ලෙස ඒවා වර්ග කර දැක්විය හැකිය.

පැතලි ගොනු ආකෘතිය (Flat File Model):

මෙහිදී දත්ත පද්ධතිය තනි වගුවක් වටා සංවිධානය වී පවතින අතර, සම්පූර්ණ දත්ත පාදකයේ තොරතුරු එක් වගුවක ගබඩා කරයි.

සම්බන්ධක ආකෘතිය (Relational Model):

සම්බන්ධක ආකෘතියක් යනු පොදු අනු ලක්ෂණයන්ගෙන් යුක්ත දත්ත සමූහයකි. මෙම දත්ත එකිනෙකට සම්බන්ධ වගු කීපයක ගබඩා කර ඇත. මෙහිදී එකම දත්ත හා තොරතුරු නැවත නැවත තැන්පත් වීම අවම කර ඇත.

උදාහරණ.
වෙළඳ ආයතනයක පවත්වාගෙන යනු ලබන දත්ත සමුදායක වගු අතර සම්බන්ධතාව පහත දැක්වෙන පරිදි වේ.


සම්බන්ධක ආකෘතිවල විකල්ප ආකෘති ලෙස ධූරක ආකෘතිය හා ජාල ආකෘතිය ඉදිරිපත් කළ හැකිය.

ධූරක ආකෘතිය

ධූරක ආකෘතිය යනු ගසක ව්‍යුහය ආකාරයට (ධූරාවලිය) පිළියෙල වූ දත්ත සමුදාය ආකෘතියකි. මෙම ව්‍යුහයේදී දෙමාපිය දරු සම්බන්ධතා ආකාරයට දත්ත හා තොරතුරු එකිනෙකට සම්බන්ධ වේ. ධූරක ආකෘතියේදී දත්ත පවත්වාගෙන යනු ලබන්නේ ධූරාවලි ආකෘතියට අනුව වේ. මෙහි දත්ත සැකැස්ම යටිකුරු කරන ලද ගසක ආකෘතිය ගනී. මෙහි පාදය ලෙස තනි වගුවක් ක්‍රියා කරයි. අනිකුත් වගු එහි අතු ශාඛා ලෙස ක්‍රියා කරයි. දෙමාපිය දරු සම්බන්ධතාවයට අනුකූල සම්බන්ධතාවක් පවතී. එනම් දරුවාට එක් දෙමව්පියෙන් සිටින අතර දෙමව්පියන්ට දරුවන් කිහිපයක් සිටිය හැක.


මෙහිදී පහළ මට්ටමේ වගුවක තොරතුරු ලබාගැනීමේදී පාදමය වගුවේ සිට පිළිවෙළින් පහළට යා යුතු වේ.

ජාල ආකෘතිය (Network Model)

ජාල ආකෘතිය යනු ධූරක ආකෘතියේ උප කුලකයක් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව එය එකිනෙකට සම්බන්ධ වූ අතු ශාඛා සහිත ගස් රාශියකට සමාන කළ හැකිය. ඉහත දෙමාපිය සම්බන්ධතාවයට අනුව මෙහිතී එක් දරුවෙකුට දෙමව්පියන් කිහිපදෙනෙකු සිටිය හැකිය.



මෙවැනි පද්ධතියක් පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම ප්‍රායෝගිකව අපහසු කාර්යයකි. බොහෝ විට මෙය  පරිගණක ක්‍රම ලේඛකයන් භාවිතා කරයි.

වස්තු සම්බන්ධක ආකෘතිය (Object Relational Model)

මෙයද සාමාන්‍ය සම්බන්ධක ආකෘතියට බොහෝ සෙයින් සමාන වේ. මෙය විස්තෘත සම්බන්ධක ආකෘතිය ලෙසද හැඳින්වේ. නමුත් මෙහිදී දත්ත සමුදාය කළමනාකරණය සඳහා පයිතන් (Python), ජාවා (Java), C++ වැනි වස්තු නැඹුරු භාෂාවක් භාවිතා කරයි. මුල් ආකෘති වලට ජය ගැනීමට නොහැකි වූ පරිගණක ආශ්‍රිත නිර්මාණකරණය (Computer Aided Drawing), භූගෝලීය තොරතුරු පද්ධති (Geographic Information Systems) බහු මාධ්‍ය ආචයන පද්ධති (Multi Media Storage System) වැනි අංශ ජය ගැනීමට මෙම ආකෘතියට හැකි විය.

6 comments: