Friday, May 10, 2013

පරිගණක පද්ධතියක වර්ගීකරණය සහ අවශ්‍යතා.

පරිගණක පද්ධතියන මූලික සංරචක හතරක් ඇත. ඒවා නම්,
  1. දෘඩංග
  2. මෘදුකාංග
  3. ස්ථිරාංග
  4. ජීවාංග

මෙම මූලික සංරචක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළින් ඒවාහී අවශ්‍යතාව හා ඒවා එකිනෙකට වෙන්කර හඳුනාගැනීමේ හැකියාව ලබා ගනිමු.

1. දෘඩාංග

පරිගණක පද්ධතියක භෞතික උපාංග දෘඩාංග ලෙස හැඳින්වේ. දෘඩාංග වල මූලික ලක්ෂණ වන්නේ අතින් ඇල්ලීමට හැකි වීම සහ පහසුවෙන් වෙනස් කළ නොහැකි වීමය. පරිගණක පද්ධතියක් සැලකූ විට මධ්‍යම සැකසුම් ඒකකය, යතුරු පුවරුව සහ සංදර්ශකය ප්‍රධාන දෘඩාංග ලෙස සැලකෙන අතර අනික් සියළුම දෘඩාංග පරිගණක උපාංග ලෙස මූලිකව හැඳින්වේ.

2. මෘදුකාංග.

යම් අරමුණක් කරා පරිගණක පද්ධතියක් මෙහෙයවීම සඳහා පිළිවෙළකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. යෙදීම අනුව පරිගණක මෘදුකාංග වර්ග කීපයකි. ඒ පිළිබඳව මෘදුකාංග වර්ගීකරණයේදී සලකා බලමු.

3. ස්ථිරාංග

පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා මූලිකව අවශ්‍යවන ක්‍රමලේඛ ස්ථිරාංග ලෙස හැඳින්වේ. මෙම ස්ථිරාංග, දෘඩාංග නිපදවීමේදීම දෘඩාංග තුළ යොදන අතර ඒවා පසුකාලීනව වෙනස් කළ නොහැකි තත්වය පවතී. උදාහරණ ලෙස, පරිගණක පඨන මාත්‍ර මතකය ගත හැක. තවද රෙදි සෝදන යන්‍ත්‍ර, ක්ෂුද්‍ර තරංග උදුන, ජංගම දුරකථන හා අයිපොඩ් ආදී උපකරණ තුළ ද ස්ථිරාංග යොදා ඇත.

4. ජීවාංග

යමෙකු පරිගණක පරිශීලනය කරමින් සිටීද, ඔහු හෝ ඇය එම මොහොතේ ජීවාංග ලෙස හඳුන්වනු ලැබේ.

පරිගණක දෘඩාංග වර්ගීකරණය.

පරිගණක දෘඩාංග ලෙස ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග සහ සන්නිවේදන උපාංග යනාදී වර්ග ප්‍රධාන කොට දැක්විය හැකිය. මෙහිදී මෙම දෘඩාංග වෙන් වෙන් වශයෙන් වැඩිදුරටත් සලකා බලමු.

ආදාන උපාංග

ආදාන උපාංග යනු පරිගණක පද්ධතියකට දත්ත සැපයීමට භාවිතා කරන උපාංගයන්ය. උදාහරණ ලෙස යතුරු පුවරුව, ස්ථානීය උපාංග, සුපරික්සකය, මයික්‍රොෆෝන්, සංඛ්‍යාංක කැමරා, වෙබ් කැම් ආදී ලෙස කිහිපයක් දැක් විය හැක.

යතුරු පුවරුව.
අක්ෂර, අංක, සංකේත සහ විධාන පරිගණක පද්ධතියකට ආදානය කිරීම සඳහා යතුරු පුවරුව යොදා ගනී. සාමාන්‍ය යතුරු ලියනයක භාවිතා කරන යතුරු පුවරු ආකෘතියේම වැඩි දියුණු අවස්ථාවක් ලෙස පරිගණක යතුරු පුවරුව සැලකිය හැකි මුත් එහි ක්‍රියාකාරීත්වය ඉලෙක්ට්‍රොනිකව සිදු වේ. මෙහි තිබෙන යතුරු තද කිරීම මඟින් ඊට ආවේනික විදුලි සංඥාවක් සකසනයට ලැබේ. සකසනය එම සංඥාව ASCII කේතකය බවට පරිවර්තනය කර පරිගණක පද්ධතියට ආදාළ අදානය ලබා දේ. අද වෙළඳ පොළෙන් රැහැන් සහිත මෙන්ම රැහැන් රහිත යතුරු පුවරුද ලබාගත හැකිය.

ස්ථානීය උපාංග. (Pointing Devices)
පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන පික්ස සහ පික්සල කාණ්ඩ වලින් සැදුම්ලත් නිරූපක (Icons)ප්‍රවේශ කරමින් ඒවාට අනුබද්ධිත ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීම ස්ථානීය උපාංගවල ප්‍රධාන කාර්යය වේ. මේ සඳහා මූසිකය, ස්පර්ශ තිරය, ස්පර්ශ තලය, මාර්ග ගුලාව, ජෝයිස්ටික් ආදිය උදාහරණ වේ. මේවා මඟින් සකසනය කරා සංඥා යැවීම සඳහා කේබල හෝ ආලෝක කිරණ භාවිතා කෙරේ.

සුපරීක්ෂකය. (Scanner)
දෘඪ පිටපතක ඇති ලිඛිත සටහන් සහ රූප, පරිගණක පද්ධතියකට ආදානය කිරීම සඳහා සුපරීක්ෂකය භාවිතා කෙරේ. මෙහිදී ලේඛන සහ රූප යන දෙකම රූපමය ආකාරයෙන් පරිගණක මතකයේ ගබඩා වීම විශේෂයකි. නමුත් යම් සුපරීක්ෂකයක ප්‍රකාශ අක්ෂර කියවීමේ [OCR(Optical Character Recognition)] පහසුකම් ඇත්නම් Times New Roman, Arial වැනි ඉංග්‍රීසි අක්ෂර භාවිත කර ඇති ලේඛණයන් රූපමය ආකාරයෙන් නොව ලේඛන ආකාරයෙන්ම පරිගණක මතකයේ ගබඩා වේ. මේ නිසා සුපරීක්ෂකය භාවිතයෙන් ලේඛන පහසුවෙන් සංස්කරණය කිරීමේ හැකියාවක් ලැබේ.

සංඛ්‍යාංක කැමරා.
ඡායාරූප ගබඩා කිරීම තාක්ෂණය අනුව කැමරා වර්ග දෙකක් ඇත.
  1. සේයා පටල කැමරා.
  2. සංඛ්‍යාංක කැමරා.

සංඛ්‍යාංක කැමරාවක මතකයේ තැන්පත් වී ඇති ඡායාරූප පරිගණකයකට ආදානය කළ හැකි නිසා සංඛ්‍යාංක කැමරාවද ආදාන උපාංගයක් වේ. සංඛ්‍යාංක කැමරාවන්ද දෙආකාරයකින් යුක්ත වේ.

  1. නිෂ්චල ඡායාරූප සංඛ්‍යාංක කැමරා.
  2. චලන රූප සංඛ්‍යාංක කැමරා.

අද වෙළඳ පොළෙහි විවිධ මාදිලියේ සංඛ්‍යාංක කැමරා දැකිය හැකිය. එමෙන්ම ජංගම දුරකථන තුළද මෙම සංඛ්‍යාංක කැමරා දක්නට ඇත.

වෙබ් කෑම්.
වෙබ් කෑම් යනු චලන රූප සංඛ්‍යාංක ලෙස සජීව විකාශය කිරීමට යොදාගන්නා කැමරා වර්ගයකි. මෙය කරලියට පැමිණීමත් සමඟ
  1. අන්තර්ජාල දුරකථන සම්බන්ධතාවකදී පුද්ගලයින් සජීවීව දිස්වීම
  2. වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම

ආදී ලෙස සන්නිවේදන තාක්ෂණයේ නව පිටුවක් පෙරලිනි. මෙම වෙබ් කෑම් වෙළඳ පොළෙන් මිලට ගෙන බාහිරව පරිගණකයට සම්බන්ධ කළ හැකිය. එලෙසම වෙබ් කෑම් සවි කරන ලද නවීන ලැප්ටොප් පරිගණකයන්ට වෙළඳ පොළෙහි දක්නට ඇත.


ප්‍රතිදාන උපාංග

ප්‍රතිදාන උපාංග යනු පරිගණක පද්ධතියකින් සකස් කරන ලද තොරතුරු සහ සංඥා පිටතට ලබා දීමට භාවිතා කරන උපාංගයන්ය. උදාහරණ ලෙස සංදර්ශකය, මුද්‍රණ යන්ත්‍රය, ශබ්ද විකාශන උපකරණ ආදිය දැක්විය හැක.

සංදර්ශකය (Monitor)
මෙය පරිගණක තිරය ලෙස ද හැඳින්විය හැකිය. තාක්ෂණයට අනුව අද භාවිතා වන ජනප්‍රිය සංදර්ශක වර්ග දෙකකි.
  1. කැතෝඩ කිරණ සංදර්ශකය.
  2. ද්‍රව ස්ඵටික සංදර්ශකය.

මේවායේ වාසි සහ අවාසි හඳුනාගෙන භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. තවද පොදුවේ ගත්කළ සංදර්ශකයක් හා බැඳුනු පහත ගුණාංග පිළිබඳව දැනුවත් වීම ද වැදගත් කොට සැලකිය හැකිය.

  1. තිරයේ ඒකකයක් තුළ පිළිඹිබු කළ හැකි පික්සල ගණන.
  2. පිළිඹිබු කළ හැකි වර්ණ ගණන.
  3. පිටතට නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය.

මුද්‍රණ යන්ත්‍රය.
පරිගණකයක ඇති විවිධ මාදිලියේ මෘදු පිටපත්, දෘඩ පිටපත් බවට පත් කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරයි. ඝටන මුද්‍රණ යන්ත්‍ර හා නොඝටන මුද්‍රණ යන්ත්‍ර ලෙස ක්‍රියාකාරීත්වයන් දෙකකින් යුත් මුද්‍රණ යන්ත්‍ර ඇත. මෙහිදී ඝටන මුද්‍රණ වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකාරිත්වයේදී ශබ්ද නගයි. අද බහුලව භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර වර්ග හතරකි.

  1. තිත් න්‍යාස (Dot-Matrix)මුද්‍රණ යන්ත්‍රය (ඝටන ම්‍රද්‍රණ)
  2. තීන්ත පිහිරි (Inkjet) මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)
  3. බුබුළු පිහිරි (Bubblejet) මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)
  4. ලේසර් මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)

මේවායේ එකිනෙකට වෙනස් තාක්ෂණ ක්‍රම භාවිතා කරන අතර මුද්‍රණය සඳහා තීන්ත සපයන ආකාර ද විවිධ වේ. මෙම මුද්‍රණ යන්ත්‍ර භාවිතයේදී ද පහත කරුණු පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

  1. දෘඩ පිටපතේ ගුණාත්මක බව.
  2. පිටපතක් සඳහා දැරිය යුතු වියදම.
  3. පිටපතක් සඳහා ගත වන කාලය.
  4. භාවිතයේදී නගන ශබ්දය.

ශ්‍රවණ උපකරණ.

පරිගණකයෙන් පිටතට ලබා දෙන ශබ්ද ශ්‍රවණය සඳහා භාවිතා කරන උපකරණ මෙහිදී කෙටියෙන් සලකා බලමු. එම උපකරණ ශබ්ද විකාශන හා හිසේ පැළඳිය හැකි ශ්‍රවණ උපකරණ ලෙස දෙආකාරයකින් දැකිය හැකිය. මෙහිදී හිසේ පැළඳිය හැකි ශ්‍රවන උපකරණ භාවිතයේදී පැළඳි පුද්ගලයාට පමණක් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබේ.

මතක උපාංග.

පරගණක පද්ධතියක දත්ත, තොරතුරු සහ උපදෙස් කෙටි කාලීනව හෝ දීරඝ කාලීනව හෝ තැන්පත් කර තැබීම සඳහා යොදා ගන්නා උපාංග මතක උපාංග ලෙස හැඳින්වේ. මෙම මතක උපාංග ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් දැක්වේ.
  1. සසම්භාවි ප්‍රවේශ මතකය. (අභ්‍යන්තර) - Random Access Memory (RAM)
  2. පඨන මාත්‍ර මතකය. (අභ්‍යන්තර) - Read Only Memory (ROM)
  3. ආචයන උපාංග (බාහිර) - Storage Devices

සසම්භාවී ප්‍රවේශ මතකය.
පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී අදාළ මෙහෙයුම් පද්ධතිය දෘඪ තැටිය තුළින් සසම්භාවී ප්‍ර වේශ මතකය තුළට ආදානය කර ගැනේ. ඊට අමතරව සැකසීමට භාජනය වීමට පෙර දත්ත හා උපදෙස් තාවකාලික ලෙස මතක තබාගන්නේද මෙම සසම්භාවී ප්‍රවේශ මතකය තුළය. මෙහි විශේෂත්වය වන්නේ විදුලි බලය සැපයී තිබෙන තුරු පමණක් මතකය රඳා පැවතීමය. මෙම මතක කියවීමට හා ලිවීමට හැකි මතක ලෙස ද හැඳින්වේ.

පඨන මාත්‍ර මතකය.

පරිගණකය බල ගැන්වීමේදී අවශ්‍ය වන සුවිශේෂී උපදෙස් සමූහයක් එය නිපදවීමේදීම ස්ථිර මතකයක අඩංගු කරනු ලැබේ. මේවා පඨන මාත්‍ර මතක ලෙස හැදින්වේ. මෙම පඨන මාත්‍ර මතක, මව් පුවරුවට සවිකර ඇත. මෙම මතක කියවීමට පමණක් හැකි මතක ලෙස ද හැඳින්වේ. මෙහි ගබඩා කර ඇති උපදෙස් ස්ථිරාංග ලෙස සැලකේ.

ආචයන උපාංග.
ආචයන උපාංග යනු දත්ත ස්ථිරව ම ගබඩා කරන මාධ්‍ය වන අතර ඒවා ද්වීතීයික මතක ලෙස හැඳින්වේ. මෙහි ගබඩා කරන දත්ත පසු අවස්ථා වලදී නැවත නැවත කියවීම හා වෙනස් කළ හැක. මේ සඳහා උදාහරණ ලෙස දෘඪ තැටිය, සුසංහිත තැටිය, නම්‍ය තැටිය, පෑන් ධාවකය ආදිය සැලකිය හැක. මේවා තාක්ෂණයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් විවිධ වේ.

පාලන හා සැකසුම් උපාංග.

පරිගණකයේ විශාලම හා ප්‍රධානතම කාර්ය භාර්යන් දෙකක් වන ගණනය කිරීම් සහ පාලන කටයුතු ඉටුකර දෙන්නේ මව් පුවරුවට සවිකර ඇති අර්ධ සන්නායක උපාංගයකිනි. මෙය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් සකසනය ලෙස හැඳින්වේ. පරිගණකය වැඩි දියුණු වීමක් කෙරෙහි අවධානය යොමු වීමකදී වැඩි සැලකිල්ලකට යොමු විය යුත්තේ ද මෙම මධ්‍ය සැකසුම් එකකයයි. මෙහි විකාශනය පිළිබඳ කතා කිරීමේදී යොදා ගත් තාක්ෂණය, ගණනය කිරීමේ වේගය, ධාරිතාව, විශාලත්වය සහ වර්ගය වැදගත් කොට සැලකිය හැකිය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය හෝරා ස්පන්ද වේගය ලෙස හැඳින්වෙන අතර එය මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් ආදී සංඛ්‍යාත වලින් නිරූපණය කරනු ලැබේ. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ.
  1. පාලන ඒකකය. (Control Unit)
  2. ගණිතමය හා තාර්කික ඒකකය. (Arithmetic Logic Unit - ALU)
  3. රෙජිස්තර ආරාව. (Register array)

පාලන ඒකකය.
  • පරිගණක පද්ධතියක සියලු කටයුතු හැසිරවීම.
  • මතකයේ ඇති උපදෙස් ලබා ගෙන ඒවා විකේතනය කිරීම.
  • ඊට අදාළව පද්ධතියේ කොටස්වලට සංඥා නිකුත් කිරීම.
ගණිතමය හා තාර්කික ඒකකය.
  • සියලුම ආකාරයේ ගණිතමය කටයුතු සිදු කිරීම.
  • දත්ත සැසඳීම.

රෙජිස්තර ආරාව
  • තාර්කික ඒකකයට යවන තෙක් දත්ත සහ උපදෙස් තාවකාලිකව තැන්පත් කර තපා ගැනීම.
  • සකස් කරන ලද තොරතුරු, ප්‍රධාන මතකයට යවන තෙක් තැන්පත් කිරීම.

සන්නිවේදන උපාංග.

පරිගණක තාක්ෂණය හා බැඳුනු ඉහත සඳහන් ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග වලට අමතරව පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය සංයුක්තකරණය වීමෙන් බිහි වූ තවත් මූලික උපාංග සමූහයක් ඇත. ජාලකරණ අතුරුමුහුණත් පත (NIC), මොඩමය, බහු පඨ කාරකය (Multiplexer), බ්ලූ ටූත් ඇඩැප්ටරය ආදිය ඒ සඳහා උපාංග කීපයකි.

පරිගණක මෘදුකාංග වර්ගීකරණය.

පරිගණක පද්ධතිය යම් අරමුණක් කරා මෙහෙයවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. මෘදුකාංග පහසුවෙන් වෙනස් කළ හැකි අංග වේ. ප්‍රධාන වශයෙන් පරිගණක මෘදුකාංග වර්ග දෙකකි.

  1. පද්ධති මෘදුකාංග (System Software)
  2. යෙදුම් මෘදුකාංග (Application Software)

පද්ධති මෘදුකාංග
මෙහිදී පද්ධති මෘදුකාංග ක්‍රියාකාරීත්වය අනුව තුන් ආකාරයකින් හඳුනාගත හැකිය. එනම්,
  1. මෙහෙයුම් පද්ධති (Operating Systems)
  2. භාෂා පරිවර්තක (Language Compilers)
  3. උපයෝගීතා මෘදුකාංග (Utility Software)

යෙදුම් මෘදුකාංග
පරිගණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාව ඉටුකරලීම සඳහා පරිගණකය තුළ ක්‍රියාත්මක කළයුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හැඳින්වේ. මේ සඳහා උදාහරණ කීපයක් වනුයේ වදන් සැකසුම් මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාං, දත්ත සමුදාය කලමනාකරණ පද්ධති මෘදුකාංග ආදියයි. තවද පද්ධති මෘදුකාංග මෙන් නොව, දිනෙන් දින නවතම යෙදුම් මෘදුකාංග වෙළඳපොළට එකතු වෙමින් පවතී.

හිමිකම් ආශ්‍රිත මෘදුකාංග සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග.
අද ලෝකයෙහි මෘදුකාංගයන්හී අයිතිය සම්බන්ධයෙන් අවස්ථා දෙකක් දක්නට ලැබේ.
  1. හිමිකම් ආශ්‍රිත මෘදුකාංග
  2. විවෘත මූලාශ්‍ර මෘදුකාංග

හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. (Proprietary Software)
යම් පාර්ශවයකට නීත්‍යානුකූලව අයිතියක් ඇති මෘදුකාංග මෙම ගණයට අයිති වේ. වෙනත් පුද්ගලයෙකුට මෙම මෘදුකාංග භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට අවස්ථාව ඇත්තේ අයිතිකරු හා එළැඹි යම් එකඟතාවන් මත පමණි. මෙම මෘදුකාංග හා නීතිමය පදනමක් බැඳී පවතී. හිමිකම් ආශ්‍රිත මෘදුකාංග හඳුන්වා දුන් ආයතන කීපයක් ලෙස මයික්‍රොසොෆ්ට්, මැක්රොමීඩියා, ඇඩෝබි යනාදිය නම් කළ හැකිය.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Open Source Software)
නීත්‍යානුකූල අයිතියකට හිමිකම් නොකියන මෘදුකාංග මෙම ගණයට අයිති වේ. මෙම මෘදුකාංග භාවිතා කිරීමට, බෙදා හැරීමට හෝ වෙනස් කිරීමට හෝ අවස්ථාව මුළුමනින්ම හෝ යම් ප්‍රමාණයකට නීතිමය වශයෙන් අවසර දී ඇත. මෙම මෘදුකාංග නිදහස් මෘදුකාංග ලෙස ද හඳුන්වයි.


4 comments:

  1. එල සහෝ.... තවත් ඕනි.. උදව්වක් දෙන්නම් ඕනිනම්. දිගටම මේ වගේ පොස්ට් හදන්න.

    ReplyDelete
  2. පරිගණක පද්ධතියක මෘදුකාංග ලබා ගත හැකි මූලාශ්‍ර

    ReplyDelete
  3. මට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් උනා මේ article එකෙන් .thank you ❤️

    ReplyDelete