Tuesday, May 14, 2013

විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජ්‍ය

විද්‍යුත් ව්‍යාපාර: අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම, විකිණීම හා සේවා සැපයීම විද්‍යුත් ව්‍යාපාර නම් වේ.
විද්‍යුත් වාණිජ්‍ය: මෙය විද්‍යුත් ව්‍යාපාරවල උප කොටසක් වන අතර අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරගෙන යාම වේ. එනම් ආයතන, තනි පුද්ගලයින්, පක්ෂ අතර හා ඒවායේ ආයතන හෝ පක්ෂ ඇතුළත හුවමාරු ක්‍රියාවලියකි.

විද්‍යුත් ව්‍යාපාරික මුදල් ගනුදෙනු වර්ග.

B2B - ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට.

සමාගම් දෙකක් අතර මිලදී ගැනීම හා විකිණීම B2B නම් වේ. මෙහිදී රහසිගත තොරතුරු බෙදාහැරීම හා ඒවාට පිවිසීම සීමාසහිත වේ. මේවායේ තොරාගත් තොරතුරු පමණක් ඇත. නොමිලේ ප්‍රවාහනය කරයි. ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා සාමාජිකයින්හට ගෙවීමේ පහසුකම් සලසා දෙයි.

විද්‍යුත් උපකරණ, ආහාර, ගෘහ භාණ්ඩ, බෙහෙත් වර්ග, සෙල්ලම්බඩු, විසිත්රු සෙල්ලම් ආදී විවිධ භාණ්ඩ මේවායේ ඇති අතර මිල ගණන් ප්‍රදර්ශනය කර ඇත.

B2B අවශ්‍යතා - මිලගණන් බෙදාහැරීම් හා භාණ්ඩ විස්තර මිළදී ගන්නා හා විකුණන්නන්ගේ එකඟතාවය මත සිදුවිය යුතුයි. ආයතනයේ පද්ධතිය ඔවුන්ගේ පාරිභෝගිකයන් අතර මානව සබඳතා නොමැතිව සන්නිවේදනය කළ යුතුයි.

උදාහරණ: 
  • www.walmart.com

B2C - ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට

මෙය පාරිභෝගිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අන්තර්ජාලය හරහා නිෂ්පාදන හා සේවා විකුණන ව්‍යාපාරික ගනුදෙනුවකි.

විද්‍යුත් වානිජ්‍ය අදායම් බෙදා හදා ගැනීම මේ හරහා කරනු ලැබේ.
මෙහිදී මිල ගණන් හා භාණ්ඩ විස්තර බෙදා හැරීම් සඳහා එකඟතාවක් අවශ්‍ය නොවේ. අනෙක් පද්ධති අතර ව්‍යාපාරික සබඳතාවක් අවශ්‍ය නැත.

උදාහරණ:
  • www.auction.com
  • www.amazon.com
  • www.dell.com

 C2C පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට.

අන්තර්ජාලය හරහා පාරිභෝගිකයෙක් තවත් පාරිභෝගිකයෙකුට භාණ්ඩ හා සේවා විකිණීම C2C නම් වේ. සමහරවිට ලියාපදිංචි විය හැක. මිලදී ගත් විට තැපෑලෙන් එවීම නොමිලේ කරයි. පොත්පත්, පැරණි බඩු, මුද්දර, වීඩියෝ සෙල්ලම් කාර්, දුරකථන ආදිය විකිණීමට හැකිය.

උදාහරණ:
  • www.ebay.com
  • www.paypal.com
  • www.qxl.com

 C2B පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරිකයාට.

පාරිභෝගිකයා විකිණුම්කරු ලෙසද, ව්‍යාපාරය මිලදී ගන්නා ලෙසද ක්‍රියා කරන අතර සපයන සේවාව සඳහා පාරිභෝගිකයාට ගෙවීමක් කරනු ලබයි.
උදාහරණ:
  • www.priceline.com
  • www.accompany.com

B2E ව්‍යාපාරයෙන් රැකියා නියුක්තයින්ට

සමාගමක භාණ්ඩ හා සේවා ඔවුන්ගේ සේවා දායකයින්ට සැපයීම B2E නම් වේ.
මෙය රැකියා කරන්නවුන් සම්බන්ධ පොදු කාර්යයකි. මෙහිදී රැකියාවක නියුක්ත වන්නන්ට ආයතනය තුළ ඇ්තේ එක් වෙබ් ලිපිනයකි. B2E ව්‍යාපාරික මුදග් ගනුදෙනු වර්ගය සේවා නියුක්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සකස් කරනු ලැබේ.

G2C ආණ්ඩුවෙන් පාරිභෝගිකයාට.

මෙහිදී ආණ්ඩුවෙන් පාරිභෝගිකයාට සේවාවක් සපයයි. ආණ්ඩුව මුදල් ඉතිරි කරන අතර වඩා වැදගත් තොරතුරු හා සේවාවන් මහජනයාට ලබාදේ.
උදාහරණ:
මර්ගගත බලපත්‍ර අලුත් කිරීම (Online License Renewal), බදු.

විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලිය.

අතථ්‍ය ආචයන් (Virtual Storefront) අන්තර්ජාලය හරහා සෘජුව භාණ්ඩ විකිණීම මෙහිදී සිදුවේ. මෙහි විද්‍යුත් නාමාවලියක් ඇති අතර පැය 24 තුළම මෙම ගනුදෙනු විවෘතව ඇත.

උදාහරණ:
www.amazon.com
www.compudata.com
www.cdnow.com

තොරතුරු තැරැව්කරුවන් (Information Brokers)

මෙය ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් විය හැකි අතර සේවාදායකයින්ට පොදු දත්ත බැංකුවලින් තොරතුරු සොයා දෙයි. මෙයින් සේවාදායකයින්ට කාලය සහ මුදල් ඉතිරි වේ. මාර්ගගත දත්ත එකතු කරයි.

වට්ටම් මත විකිණීම කරයි. මේවායේ දැන්වීම් ප්‍රචාරණය ඇත. දායකත්වය ලබාගත හැක. B2B හෝ B2C විය හැක.

උදාහරණ:
  • වෙළඳපොල පර්යේෂණ (market research)
  • පේටන්ට් පර්යේෂණ (patent research)
  •  මාර්ගගත වෙළඳපොල (online market)
  • www.ebay.com
  • www.caretotrade.com
  • www.greekvillege.com

අන්තර්ගත සපයන්නා (Content Provider)

මෙමඟින් නොයෙක් වර්ගයේ විද්‍යුත් තොරතුරු සපයයි. මේ අතර ප්‍රවෘත්ති, වගන්ති, විද්‍යුත් තැපැල්, චිත්‍රක, ලිපි, චලන රූප වැනි නිතරම නවීකරණය වන තොරතුරු ඇත.

උදාහරණ:
  • www.yahoo.com
  • www.aol.com
  • www.wikipedia.org
මාර්ගගත සේවා සපයන්නා (Online  Service Provider)
මෙමඟින් පාරිභෝගිකයාට මාර්ගගත සේවාවක් ලබාදීම සිදු කරයි.

ද්වාර (Portals)

භාවිතා කරන්නාට (anchor) මේ සමඟ ඈඳුනු වෙබ් අඩවි බලාගත හැකිය. ආණ්ඩුව මඟින් ආණ්ඩුවේ ආයතන ගැන සහ විශ්වවිද්‍යාල වලින් ශිෂ්‍යයින්ගේ ප්‍රයෝජනය සඳහා ද අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනාදිය ද ගැන ද්වාර සාදා ඇත.

උදාහරණ:
  • www.iide.vit.edu
  • www.wsu.edu - වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලය
  • www.myharward.edu - හාවඩ් විශ්ව විද්‍යාලය
  • www.myasu.edu - ඇරිසෝනා විශ්ව විද්‍යාලය
  • www.myyahoo.com - වාණිජ ද්වාරයකි.
  • www.gov-lk - ශ්‍රී ලංකා අන්තර්ජාල බිහිදොර

අතත්‍ය ප්‍රජාව (Virtual Communities)

භාවිත කරන්නාට දෘශ්‍යමාන නොවන සමාජ මේ නමින් හඳුන්වයි. මෙහිදී තොරතුරු, දුරකථන, පුවත්, ලිපි, විද්‍යුත් තැපෑල හරහා පුද්ගලයින් සමූහයක් අතර තොරතුරු සන්නිවේදනය කරයි. පුද්ගලයින් හමුවීම, කතාන්දර හුවමාරු කිරීම, එකට වැඩ කිරීම, දේශපාලනය, පරිසර, ලෙඩරෝග පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමට අතත්‍ය ප්‍රජාව යොදා ගනියි. වේවායේ කථන කාමර, නිවේදන  පුවරු ඇත.

උදාහරණ: Yahoo groups, Google groups


විද්‍යුත් ව්‍යාපාරවල වාසි සහ අවාසි.

විද්‍යුත් ව්‍යාපාර සේවය ලබාගන්නා සහ ලබාදෙන්නා අතර විශ්වාසය මත රඳා පවතී.

වාසි:

  • භාණ්ඩ විකිණීමෙන් පසු සහය දීම, ක්‍රියාකාරීත්වය හා මඟපෙන්වීම.
  • ආකර්ශනීය භාණ්ඩ තෝරා ගැනීම
  • තරගකාරී මිලගණන්
  • තෘප්තිමත් බව සහතික වීම
  • වේගවත් සේවාවන්
  • පහසුවෙන් ළඟිවිය හැකි පිටු
  • ඉක්මන් මිලදීගැනීම් හා බෙදාහැරීම්
  • දැන්වීම්
  • තෑගි දීම්, වට්ටම්, විශේෂ තෑගි
  • පාරිභෝගිකයාට පුද්ගලික අවධානය යොමු කිරීම
  • කථන කාමර, විද්‍යුත් සමාජ, ප්‍රවෘත්ති කණ්ඩායම්, සමාජීය අන්තර් සබඳතා.

අවාසි:

  • ඇනවුම් කළ භාණ්ඩවල විශ්වාසවන්ත බව නොමැතිවීම
  • ඇනවුම් කළ භාණ්ඩවල තොරතුරුවල විශ්වාසවන්ත බව නොමැතිවීම
  • විකුණන සමාගම් අතර සබඳතාවක් නැතිවීම
  • මුදල් ගෙවීමේදී ණය පත් වල විශ්වාසවන්තභාවය ගැටලු සහගත වීම
  • ඉතිරි මුදල් ගැන අනාරක්ෂිත බව
  • එවනු ලබන භාණ්ඩ වල අනාරක්ෂිත බව

Monday, May 13, 2013

තොරතුරු පද්ධති (Information Systems)

තොරතුරු පද්ධතියක් යනු මිනිසුන්, ක්‍රියාකරකම් සහ තාක්ෂණය යන සංරචක වල අන්‍යෝන්‍ය සබැඳුමකි. මෙමඟින් තොරතුරු එක්රැස් කිරීම හෝ නැවත ලබා ගැනීම, සැකසීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම යන කාර්යයන් සිදුකර මිනිසාගේ එදිනෙදා සිදුවන සියලු කටයුතු කර ගැනීම සඳහා දායක වේ. තොරතුරු පද්ධතියක් අපට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් පරිගණක තාක්ෂණය පාදක වූ තොරතුරු පද්ධති සහ පරිගණක තාක්ෂණය පාදක නොවන තොරතුරු පද්ධති ලෙසයි.
පරිගණත තාක්ෂණය අන්තර්ගත පද්ධතියක් ලෙස ස්වයංක්‍රීයක ටෙලර් යන්ත්‍රය දැක්විය හැකිය.
පරිගණක තාක්ෂණය අන්තර්ගත නොවන පද්ධතියක් ලෙස ජීවි සහ භෞතික පද්ධතීන් දැක්විය හැකිය.

​ස්වයංකෘත පද්ධති (Automated Systems)

තොරතුරු පද්ධතියක් මෙහෙයවීම සඳහා පුද්ගල මැදිහත්වීමක් අවශ්‍ය වුවත් ස්වයංකෘත පද්ධති මෙහෙයවීම සඳහා පුද්ගල මැදිහත්වීමක් අවශ්‍ය නැත. මෙවැනි පද්ධති මෙහෙයවීම සඳහා යොදාගනු ලබන්නේ පරිගණකයි.

උදාහරණ ලෙස සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් දැක්විය හැක. මෙහිදී යන්ත්‍රය මත සවිකර ඇති ක්ෂුද්‍ර චිපයක් මඟින් යන්ත්‍රයට ලබාදෙන ජලය ප්‍රමාණය, කැරකැවෙන වාර ගණන සහ වේලන කොටස තුළ උෂ්ණත්වය යනාදී සියල්ල පාලනය කරනු ලබයි.

කාර්යාලයීය ස්වයංක්‍රීය පද්ධති. (Office Automation System)

අංකිත ආකරයට නිර්මිත, එක්රැස් කරගත්, සමාලෝචනය කළ සහ ගබඩා කරගත් ආයතිනක දත්ත කිසියම් මූලික කාර්යයක් සඳහා හෝ අභිමතාර්ථයක් මුදුන් පමුණුවා ගැනීම සඳහා හෝ උපයෝගී කරගැනීම මෙමඟින් සිදුවේ.
පැරණි ආයතන ස්වයංක්‍රීයන පද්ධතියන් හී යතුරු ලියනය සහ ඡායා පිටපත් යන්ත්‍රය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී. නමුත් අද වන විට එවැනි පද්ධති වල විද්‍යුත් තැපෑල (e-mail) සහ ස්වර තැපෑල (voice mail) භාවිතය මඟින් පද්ධතියේ අඩංගු තොරතුරු අංකිත ආකාරයට පරිවර්තනය කර සන්නිවේදනය කළහැකි ආකාරයට වැඩිදියුණු කර ඇත.

ගනුදෙනු සැකසුම් පද්ධතිය (Transaction Processing System)

තොරතුරු තාක්ෂණයේදී ගනුදෙනුවක් වශයෙන් සළකනු ලබනුයේ, දත්ත සමුදායක් වැනි තොරතුරු පද්ධතියක් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බාහිරව හෝ අභ්‍යන්තරිකව සිදුවන සන්නිවේදනයේදී අනුක්‍රමිකව හුවමාරු වන වැඩ ඒකකයකි. උදාහරණයක් වශයෙන්, එදිනෙදා බැංකු කටයුතු වලදී සිදුවන අකාර්යක්ෂමතාව සහ වැරදි අවම කර ගැනීමට මෙවැනි පද්ධති මඟින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමයි.

ගනුදෙනු සකස්කිරීමක් යනු තොරතුරු සකස් කිරීමක් ම වන අතර තොරතුරු තනි තනි ඒකක වලට බෙදා එකිනෙකට නොපෙනෙන ලෙස අන්‍යෝන්‍ය හැදියාවකින් යුක්තුව සිදු කිරීම ගනුදෙනු සකස් කිරීමක් ලෙස හඳුන්වයි. මෙම ගනුදෙනු සකස් කිරීමේදී අනිවාර්යය වෙනුයේ එක් එක් ගනුදෙනුව සම්පූර්ණයෙන්ම සිදුවීම හෝ සම්පූර්ණයෙන්ම සිදු නොවීමයි. එම ගනුදෙනුව අතරමැද අවස්ථාවය නතරවීම එය අයත් ගනුදෙනුකරුවාට/වන්ට මෙන්ම එම ගනුදෙනුව සිදු කිරීමට මුල් වූ බැංකු ආයතනයටද ඉමහත් ගැටලුවකි.

මෙම ගනුදෙනු සකස් කිරීම පරිගණක පද්ධතියට අදාළ වූ පරිගණක දත්ත ගබඩාවක් හෝ ගොනු ගබඩාවක් ආ
 ආශ්‍රයෙන් සිදු කරනු ලබයි.

උදාහරණයක් ලෙස ආකෘතික බැංකු ගනුදෙනුවක් සලකන්න. සුපිරි වෙළඳ සැලකින් කිසියම් භාණ්ඩයක් රු 500.0ක මුදලකට මිලදී ගැනීමේදී ඔබ එම මුදල ණය කාඩ්පතකින් (credit card) ගෙවූයේ නම් සිදුවිය යුතු ගනුදෙනුව වනුයේ ඔබගේ ඉතිරි කිරීමේ ගිණුමෙන් රු. 500.00ක් හර වීමත්, ඔබ භාණ්ඩය මිලදීගත් ආයතනයට අයත් ගිණුමට එම රු. 500.00ක් බැර වීමත් ය. මෙම ගනුදෙනුවෙයි ඉහත ක්‍රියාවන් දෙ ම එකවිට සිදුවීම අනිවාර්යය වේ. එම ක්‍රියාවන් දෙක ම එකම අවස්ථාවේදී සිදු නොවුනහොත් හෝ එම ක්‍රියාවන් දෙකින් එකක් පමණක් සිදු වුවහොත් ඔබත්, භාණ්ඩය විකිණූ ආයතනයත් යන දෙකම අපහසුතාවට පත් වෙනු ඇත. එබැවින් මෙවැනි දෑ නිවැරදිව කිරීම සඳහා ගනුදෙනු සකස් කිරීමේ පද්ධති සුවිශේෂී ක්‍රියාකාරකම් වලින් සන්නද්ධව ගොඩනගා ඇත. එය ACID (Atomicity - පරමාණුකතාව, Consistency - සංස්ථිතික, Isolation - හුදකලාබව, Durability  කල් පැවැත්ම) නමින් දක්වනු ලැබේ.

පරමාණුකතාව (Atomicity)
මෙහිදී ගනුදෙනු සකස් කිරීමකදී එය සම්පූර්ණයෙන් සිදුවීමක් හෝ සම්පූර්ණයෙන්ම සිදු නොවීමක් වීමට වග බලා ගනියි.

සංස්ථිතික (Consistency)
මෙහිදී ගනුදෙනුවෙහි නිරවද්‍යභාවය තහවුරු කරයි. එක් ගනුදෙනුවක් කුඩා ඒකක වලින් සිදුකිරීමේදී ඒ එක එකක් සම්පූර්ණ ගනුදෙනුවෙහි අවංකභාවය සුරකින ලෙස සිදුවීමට වග බලා ගනියි.

හුදකලාබව (Isolation)
ගනුදෙනු සිදුකිරීම එකම අවස්ථාවක සිදුවුවත් එක් එක් ගනුදෙනුව සිදුවනුයේ කිසියම් ගනුදෙනුවකට පෙර හෝ පසුවය. ගනුදෙනු දෙකක් එකවර සිදුනොවීමට වගබලා ගනියි.

කල් පැවැත්ම (Durability)
එක් ගනුදෙනුවක් සාර්ථකව සම්පූර්ණ වූ පසු එය නැවත ඇනහිටීමේ ක්‍රියාවලියක් සිදු නොවීමට වග බලා ගනියි.


ගනුදෙනු සකස් කිරීමේ පද්ධතියෙහි විශේෂාංග


ඉක්මන් ප්‍රතිචාර

ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා සීඝ්‍ර ක්‍රියාකාරීත්වය තරමක් අසීරු කටයුත්තක් වුවද වෙලාවෙහි ඇති ඉතා වැදගත්කම සලකා පාරිභෝගිකයන් දිගුවේලා රඳවා ගැනීම අවම කිරීමට මෙම විශේෂාංගය සකසා ඇත.

විශ්වසනීයත්වය

ගනුදෙනුකරුවන් පද්ධති සමඟ සිදුකරන ගනුදෙනු වලදී වැරදීම් අපේක්ෂා නොකරයි. එබැවින් මෙම පද්ධති පෘථුල ආරක්ෂා සංවිධානයකින්ද ආපදා පිළියම් ඒකක වලින්ද සමන්විතය.

ස්ථිරබව

සෑම ගනුදෙනුවක්ම පුද්ගලයා හෝ තරාතිරම තීරණය කිරීමකින් තොරව එකලෙස ඉටු කරයි.

පාලිත සකස් කිරීම

සංවිධානයෙහි කාර්යයන් සඳහා සහාය දැක්වීමට පාලනයකින් යුතුව සකස් වී ඇත.

කළමනාකරණ සහාය පද්ධති (Management Information Systems)

ව්‍යාපාරයක් තුළ සමස්ථ අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන්ගේ උප ඒකකයකි. මානව, ලිය කියවිලි, තාක්ෂණික හා ක්‍රියා පරිපාටීන් තොරතුරු කළමනාකාරීත්ව ගණකාධිකාරීන් මඟින් ආවරණය කරනු ලබයි. ව්‍යාපාරික ගැටළු විසඳීම සඳහා මෙය භාවිතා වේ.

උදා: නිෂ්පාදිතයන් හී හෝ සේවාවන්හී පිරිවැයකරණය සෙවීම, පුළුල් ව්‍යාපාර උපාය මාර්ග සෙවීම

මෙමගින් ඉටු කරනු ලබන කර්තව්‍යයන් වේ.

තීරණ සහාය පද්ධති (Decision Support Systems)

සුවිශේෂී වර්ගයේ තොරතුරු පද්ධති වේ. මෙමඟින් කිසියම් ව්‍යාපාරයක හෝ සංවිධානයක තීරණ ගැනීමේ ක්‍රියාකාරකම් උදෙසා සහාය දක්වයි.

විධායක සහාය පද්ධති (Executive Support Systems)

විධායක සහාය පද්ධතියක් යනු කිසියම් සංවිධානයක දත්ත ඵලදායී ලෙස සාරාංශ ගත කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසන වාර්තාකරන මෙවලමකි. මෙම වාර්තා සාමාන්‍යයෙන් විධායක මට්ටමේ පාලකයන් විසින් ඉක්මන් පරිශීලනය උදෙසා ලබා ගනී.

භූගෝලීය තොරතුරු පද්ධති (Geographical Information Systems)

කිසියම් භූගෝලීය ස්ථානයක් හා සම්බන්ධව ග්‍රහණය කරගත් හෝ තැන්පත් කරගත් හෝ විශ්ලේෂණය කරගත් හෝ දත්ත පාලනය කර ඉදිරිපත් කිරීම මෙමඟින් සිදුකෙරේ. තාක්ෂණයට අනුව මෙම පද්ධතිය තුළ අනුරූපණ මෘදුකාංග (mapping software), භාවිතවන මෙවලම් ආශ්‍රිතව දුරස්ථ සංවේදනය (remote sensing), බූමි මැනුම (land surveying), ආකාශ ඡායාරූප ශිල්පය (aerial photography), ගණිත ශ්‍රාස්ත්‍රය, ඡායාරේඛනමිතිය (photogrammetry) සහ භූගෝල විද්‍යාව (geography) අන්ගර්ගතව ඇත.


දැනුම් කළමනාකරණ පද්ධති (Knowledge Management Systems)

ආයතනයක් තුළ භාවිතවන විවිධ පරාසයන්හී ක්‍රියාකාරකම් හඳුනාගැනීම, නිර්මාණය, එළිදැක්වීම, බෙදා හැරීම සහ ඒවායේ දර්ශනයන් සහ පළපුරුදු විවිධ අවශ්‍යතාවන් සඳහා යොදාගැනීම මෙමඟින් සිදුවේ. මෙවැනි දර්ශන සහ පළපුරුදු තනි පුද්ගලයෙකු තුළ හෝ ආයතන ක්‍රියාදාමයන් සමඟ ඒකාබද්ධ වී පැවතිය හැකි අතර දැනුම ලබාගැනීම සඳහා උපයෝගී වේ.

අන්තර්ගත කළමනාකරණ පද්ධති (Content Management System)

නිතර භාවිතා වන්නේ කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රලේඛන (documentation) ගබඩා කිරීම, පාලනය කිරීම, අනුවාද සැකසීම හා ප්‍රකාශයට පත් කිරීමටය. මෙම ප්‍රලේඛන ලෙස හඳුන්වනු ලබන්නේ ප්‍රවෘත්ති, ව්‍යවස්ථාවලි, කාර්ය සංග්‍රහ, තාක්ෂණික කාර්ය සංග්‍රහ, විකිණුම් මාර්ගෝපදේශ, අළෙවි කරන පොත් පිංච යනාදිය වේ. මෙයට සමාන වෙනත් පද්ධතියක් ද දැක්විය හැක. එනම් ලේඛන කළමනාකරණ පද්ධතිය වේ.

ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (Enterprise Resource Planning Systems)

ව්‍යාපාරයක සියලුම සම්පත්, තොරතුරු සහ කාර්යයන් බෙදා දෙන ලද (shared) දත්ත සමුදායක් මඟින් පාලන කිරීමට හා සම්බන්ධීකරණය කිරීමට උපකාරීවන පුළුල් ආයතනික පද්ධතියකි.


ප්‍රවීන පද්ධති (Expert Systems)

ප්‍රවීන පද්ධතියක් යනු මෘදුකාංගයක් වන අතර එමඟින් කිසියම් විෂය පථයක විශේෂඥයෙකු හෝ විශේෂඥයින් කිහිප දෙනෙකුගේ කාර්ය සාධනයන් පිටපත් කිරීමට ප්‍රයත්න දැරීමෙන් එම පද්ධතියද විශේඥයෙකුගේ ආදර්ශනයක් මවා දක්වයි. මේ සඳහා කෘත්‍රිම බුද්ධිය ආධාර කොටගනී. විවිධ වර්ගයේ ක්‍රම මෙම විශේෂඥයින්ගේ කාර්ය සාධනය ආදර්ශනය කිරීම සඳහා යොදාගනී.

නිහිත පද්ධති (Embedded Systems)

තනි හෝ අල්ප වූ සුවිශේෂ කාර්යයන් උදෙසාම කැපවී ඇති පද්ධති වේ. පරිපූර්ණ වූ උපකරණයක කොටසක් ලෙස ඔබ්බවා ඇති පද්ධතියකි.



Sunday, May 12, 2013

තොරතුරු පද්ධති (Information Systems)

පද්ධතියක් යනු ඒකායන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුක්තව සාමූහිකව ක්‍රයා කරන්නා වූ සම්පත් සමූහයකි. ඕනෑම පද්ධතියක ආදානයක්, සැකසුමක් හා ප්‍රතිදානයක් හඳුනාගත හැක.  පද්ධතියක් විවෘත හා සංවෘත ලෙසද, ස්වභාවික සහ කෘතිම ලෙසද වර්ග කළ හැක.

යම්කිසි පද්ධතියක් නිර්මාණය කිරීමේදී එම පද්ධතිය බිහිවීම සඳහා කිසියම් අවශ්‍යතාවක් ඇතිවී තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මානව ස්නායු පද්ධතිය නිර්මාණයේ අවශ්‍යතාව සලකා බලමු. මිනිස් සිරුර තුළ ඇති එක් එක් ඉන්ද්‍රිය මඟින් ජනිත කරන්නා වූ සංඥා ඔබ මොබ ගෙනයාමේ අවශ්‍යතාව ඉටු කර ගැනීම උදෙසා මානව ස්නායු පද්ධතිය බිහි වී ඇත. මානව ස්නායු පද්ධතිය සුවිශේෂී සෛල රාශියක්, ජාලයක් ලෙස සකස් වීමෙන් ජීවියාගේ වටා පිටාව හා ජීවියා තුළ සංඥා එහා මෙයා ගෙනයාමේ අවශ්‍යතාව ඉටු කරයි. එනම් එය කිසියම් අරමුණක් සාක්ෂාත් කරගැනීම උදෙසා ස්වභාවිකවම නිර්මාණය වී ඇත.

පද්ධති න්‍යාය සැලකීමේදී ලෝකය කොටස් කීපයක් එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ පද්ධතියක් ලෙස දැක්විය හැකිය. අප පද්ධතියක විෂය පථය නිර්වචනයේදී එයට සීමාවක් ගෙනහැර පෑමේ අදහස් වනුයේ පද්ධතිය තුළ ඇති වස්තූන් හා පද්ධතියට පිටින් ඇති වස්තූන්ගෙන් වෙන්කර හඳුනාගැනීමයි. ඉන් පසු අපට හඳුනාගැනීමට පහසු වන පරිසි ලිහිල් තල ආදර්ශනයක් මඟින් එම පද්ධතිය නිර්මාණය කර එමඟින් එම පද්ධතියෙහි අනාගත හැසිරීම පුරෝකථනය කළ හැක.



පද්ධති අධ්‍යයනයේදී ස්වභාවික පද්ධති මෙන්ම මිනිසා විසින් සකල් කළ පද්ධති ද අපට හඳුනා ගත හැක. රුධිර සංසරණ පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, පරිසර පද්ධතිය ආදිය ස්වභාවික පද්ධතිවලට උදාහරණ වන අතර පරිගණක පද්ධතිය, නීති පද්ධතිය, පාසල් පද්ධතිය මිනිසා විසින් සාදන ලද පද්ධති සඳහා උදාහරණ වේ. ස්වභාවික පද්ධතිද සජීවි සහ භෞතික ලෙස වෙන්කර දැක්විය හැක.

සියලුම පද්ධති නිර්මාණය වී ඇත්තේ එකිනෙකට සම්බන්ධ වී සාමූහිකව ක්‍රියා කරන කොටස් කීපයක් මඟින් වේ. ජීවි පද්ධතිය සඳහා උදාහරණයක් ලෙස පරිසර පද්ධතිය ගතහොත් පරිසරය යනු ගස්වැල්, ජලය, වාතය, සූර්යයා, ජීවින් යන සියල්ලන්ගේම එකතුවකි. මෙයින් එක් අංගයක නිමාව සම්පූර්ණ පද්ධතියෙහිම ක්‍රියාකාරීත්වය ගැටළුකාරී තත්වයකට පත්වීමට සාධකයක් වනු ඇත. විදුලි සංදේශ පද්ධතිය යනු සම්ප්‍රේෂකය (transmitter), සන්නිවේදක මාධ්‍ය (transmission medium) සහ ග්‍රාහකයා (receiver) යන අංගයන්හී එකතුවයි. මින් එක් අංගයක් හෝ ක්‍රියා විරහිත වූ විට එම සම්පූර්ණ පද්ධතියම අඩාලත්වයට පත්වේ. මෙහිදී අවධාරණය කළ යුතු අනෙකුත් කරුණ වන්නේ කිසියම් පද්ධතියක් අනු කොටස් වලට බෙදිය හැකි බවත්, මෙම අනුකොටස් වලටද පද්ධතියක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවත්ය.


වෙබ් අඩවි.

මුල් පිටුව (Home Page)

වෙබ් බ්‍රව්සරයක් හරහා වෙබ් අඩවියකට පිවිසෙන විට මුලින්ම දිස්වන පිවුව වෙබ් අඩවියේ ප්‍රධාන පිටුව හෙවත් මුල් පිටුව ලෙස හඳුන්වනු ලැබේ.


ඈඳුම් පිටුව(Link Pages)

මුල් පිටුව සමඟ සම්බන්ධ වී ඇති අනෙකුත් පිටු ඈඳුම් පිටු නමින් හඳුන්වයි. වෙබ් පිටුවක තැනුම් ඒකකයක් වන්නේ රූපක, ශ්‍රව්‍ය දෘශ්‍යයන් වැනි බහු මාධ්‍යය අංගයන්ය.

වෙබ් පිටුවක තොරතුරු ඉදිරිපත් කිරීමේදී පහත කරුණු සලකනු ලැබේ.

  • අවශ්‍ය තොරතුරු පමණක් ඇතුළත් කිරීම
  • කෙටි කාලයක දී තේරුම් ගැනීමට හැකි පරිදි ප්‍රමාණාත්මක තොරතුරු ගොනු කිරීම. මෙහිදී වගු, ලැයිස්තු ආදිය යොදා ගනී.
  • විවිධ පුද්ගලයන්ට ග්‍රහණය කරගත හැකි පරිදි නොයෙකුත් ආකෘති වලින් තොරතුරු සරල භාෂාවකින් දැක්වීම.
  • භාවිතා කරන්නාට කාර්යක්ෂමව තොරතුරු සෙවීම සඳහා තේරීම් වාර ගණන හා පිටු ගණන අවම කිරීම.
  • කරුණු සංවිධානය කිරීමේදී භාවිතා කරන්නාට පහසුවෙන් තේරුම්ගතහැකි පරිදි සම්බන්ධයක් ඇති තොරතුරු එකට කාණ්ඩගත කිරීම.
  • තොරතුරුවල කාලීන හා අපක්ෂපාතී වීම.
  • වෙබ් පිටුවල මුහුණත ආකර්ෂණීය වීම හා ඒ සඳහා අකුරුවල ප්‍රමාණය, හැඩය හා පැහැය ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම.
  • රාමු (Frames) යෙදීම.
  • කරුණු යාවත්කාලීන කිරීම.
වෙබ් අඩවියක් පහසුවෙන් හැසිරවීමට හැකි විය යුතුය. වෙබ් අඩවියක පිටු සැකසීම වෙබ් අඩවියේ වර්ගය හා අන්තර්ගත කරුණු අනුව වෙනස් වේ.

Saturday, May 11, 2013

විශ්ව විසිරි වියමන | World Wide Web (WWW)

විශ්ව විසිරි වියමන යනු අන්තර්ජාලය හරහා පිවිසිය හැකිවූ ද, එකිනෙකට සම්බන්ධ වූ ද, ලෝකය පුරා ඇති පරිගණක වල ගබඩා කර ඇති විද්‍යුත් ලේඛනවල විශාල එකතුවකි. 
මෙය අන්තර්ජාලයේ පරිගණක අතර තොරතුරු බෙදාහරින ආකාරයක් ලෙස හැඳින්විය හැකිය. WWW හී නිර්මාතෘ ලෙස ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සර් ටිම් බර්නර්ස් ලී (Sir Tim Berners Lee) සලකනු ලැබේ. භාවිත කරන්නාට වෙබ් අතරික්සුවක් (Web Browser) හරහා වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාව ඇත. වෙබ් පිටුවකින් හෝ පිටු කීපයකින් වෙබ් අඩවියක් සමන්විත වේ. ලිඛිත සටහන්, පින්තූර, වීඩියෝ සහ අනෙකුත් බහුමාධ්‍ය වලින් සමන්විත වෙබ් පිටු දැකගත හැකි අතර අධි සම්බන්ධක (Hyperlink) භාවිතයෙන් ඒවා අතර සැරිසැරීමට හැකිය.

අන්තර්ගතය හා ව්‍යුහය සලකා බැලීමෙන් වෙබ් අඩවි වර්ග පහත ආකාරයට බෙදා දැක්විය හැකි වුවද ඒවාහී ඉතා පැහැදිලි වර්ගීකරණයක් දක්නට නො ලැබේ.

වෙබ් අඩවි වර්ග


තොරතුරු මූලික වෙබ් අඩවි (Informational sites) 
විශේෂිත විෂයයක් හෝ සංවිධානයක් ගැන තොරතුරු සොයාගත හැකි වෙබ් අඩවි මේ වර්ගයට අයත් වේ. මෙය බහුලව දක්නට ලැබෙන අතර මෙහි සෘජුව භාණ්ඩ විකිණීමක් නො කරන නමුදු බැනර් සහ දැන්වීම් දැකිය හැකිය. මෙම වෙබ් අඩවි වල විද්‍යුත් තැපැල් ලිපිනයක් හා දුරකථන අංකයක් බොහෝ විට දක්නට ලැබේ.
උදාහරණ: www.nie.lk, www.moe.gov.lk

මුදල් ගනුදෙනු හෝ එවැනි කාර්යයන් සඳහා සකස් කර ඇති වෙබ් අඩවි ගනු-දෙනු ආශ්‍රිත වෙබ් අඩවි (Transactional sites) වේ. විද්‍යුත් වානිජ්‍ය (e-commerce sites) වෙබ් අඩවි මෙම කාණ්ඩයට ගත හැකි අතර මේවායේ ප්‍රධාන කාර්යය භාණ්ඩ (නිෂ්පාදන) අළෙවි කිරීමයි.
උදාහරණ: www.amazon.com, www.yahoo.com, www.dsi.com

භාවිතා කරන්නා (ග්‍රාහකයා) සමඟ අන්තර් සබඳතාවන් පවත්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වෙබ් අඩවි (Community sites) වේ. මේවා තොරතුරු හා මුදල් හුවමාරු පහසුකම් යන දෙකම සපයයි. 
උදාහරණ: www.acquairum.com, www.nextdaypets.com

විනෝදාස්වාදයක් ලබාදෙන වෙබ් අඩවි ක්‍රීඩා සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවිද මේ ගණයට අයත් වේ. මේවායේ මුදල් හුවමාරු සහ තොරතුරු හුවමාරුවද අඩංගු වේ.
උදාහරණ: www.disney.com www.playkidsgames.com

අනෙකුත් වෙබ් අඩවි.

පර්යේෂණ හා කලාත්මක වෙබ් අඩවි ඇත. පෞද්ගලික වෙබ් ඉඩකඩ වැනි දෑ මේවායේ අඩංගු වන අතර මේවා මුදල් කටයුතු කෙරේ එතරම් සැලකිල්ලක් නොදක්වයි. 
http://globalisation-and-the-environment.blogspot.com

මීට අමතරව තොරතුරු ලබාගැනීමේ නොයෙකුත් ප්‍රභවවලට ප්‍රධාන පිවිසුම් මාර්ගයක් (Gateway) ලෙස ක්‍රියාකරන වෙබ් අඩවි ඇත. මේවා වියමන් ද්වාර (portals) ලෙස හඳුන්වයි. මේවායේ සන්නිවේදන හා සෙවීමේ පහසුකම් ඇති මෙවලම් අන්තර්ගත වේ. මෑතකදී පාසල් පුස්තකාල සහ අනිකුත් ආයතන තමන්ගේ වියමන් ද්වාර, ගුරුවරුන්, ශිෂ්‍යයන් වැනි අයතේ රුචිකත්වයට අදාළව නිර්මාණය කර ඇත.

උදාහරණ:
  • Shopping Portals
  • www.amazon.com
  • www.ebay.com
  • www.barnesandnoble.com
  • www.schoolnet.lk
  • www.gov.lk
වෙබ් ද්වාර (Web Portals) මඟින් අදාළ තොරතුරු කෙටි කාලයකින් ලබා දේ. සමහරවිට වෙළඳ පොළ වාර්තා, දුරකථන නාමාවලි වැනි දෑ මේවා යේ අඩංගු ය.

දත්ත කළමනාකරණය.

දත්ත යනු අප හැම දෙනාටම හුරු පුරුදු වචනයකි. පුද්ගලයෙකුගේ වයස, භාණ්ඩයක මිල, පාසලක සිටින ළමුන් සංඛ්‍යාව ආදිය අපට නිතර හමුවන දත්ත කිහිපයකි. එදිනෙදා ජීවිතයේදී අපට නිතර මතකයේ රැඳෙන දත්ත සමූහයක් ඇත. උදාහරණයක් ලෙස නම, උපන් දිනය, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම් ආදිය දැක්විය හැකිය.  නමුත් විශාල දත්ත ප්‍රමාණයක් එකවර මතක තබාගැනීම අපහසු කාර්යයකි. උදාහරණයක් ලෙස පාසැලක සිටින සියලු ළමුන්ගේ දත්ත, වෙළඳසැලක පවතින සියලු ම භාණ්ඩ මිල ගණන් ආදිය දැක්විය හැක. එබැවින් මෙවැනි කාර්යයන් පහසු කරගැනීම සඳහා සහ දත්ත සංවිධානාත්මකව ගබඩා කර තැබීම සඳහ දත්ත සමුදායක් භාවිතා කරනු ලබයි.

දත්ත සමුදායක් යනු ව්‍යුහගත ආකාරයකට පවතින තොරතුරු සමූහයකි. මෙය සම්ප්‍රදායානුකූල ක්‍රම භාවිතයෙන් සහ පරිගණක තාක්ෂණය භාවිතයෙන් කළමනාකරණය කළ හැකිය. නමුත් සම්ප්‍රදායානුකූල ක්‍රමයේ දී කාලය, ශ්‍රමය, භෞතික ඉඩ ප්‍රමාණය වැනි දෑ වැඩි වශයෙන් වැය වන අතර පරිගණක ගත කළමනාකරණයේ දී ඉහත දැක් වූ අඩුපාඩු අවම කරගත හැකි අතර වඩාත් නිවැරදි ආකාරයට එම කටයුතු කළ හැකිව ඇත.
පරිගණක ගත ක්‍රමයේ ආකාර කීපයක් ඇත. පහත දැක්වෙන ලෙස ඒවා වර්ග කර දැක්විය හැකිය.

පැතලි ගොනු ආකෘතිය (Flat File Model):

මෙහිදී දත්ත පද්ධතිය තනි වගුවක් වටා සංවිධානය වී පවතින අතර, සම්පූර්ණ දත්ත පාදකයේ තොරතුරු එක් වගුවක ගබඩා කරයි.

සම්බන්ධක ආකෘතිය (Relational Model):

සම්බන්ධක ආකෘතියක් යනු පොදු අනු ලක්ෂණයන්ගෙන් යුක්ත දත්ත සමූහයකි. මෙම දත්ත එකිනෙකට සම්බන්ධ වගු කීපයක ගබඩා කර ඇත. මෙහිදී එකම දත්ත හා තොරතුරු නැවත නැවත තැන්පත් වීම අවම කර ඇත.

උදාහරණ.
වෙළඳ ආයතනයක පවත්වාගෙන යනු ලබන දත්ත සමුදායක වගු අතර සම්බන්ධතාව පහත දැක්වෙන පරිදි වේ.


සම්බන්ධක ආකෘතිවල විකල්ප ආකෘති ලෙස ධූරක ආකෘතිය හා ජාල ආකෘතිය ඉදිරිපත් කළ හැකිය.

ධූරක ආකෘතිය

ධූරක ආකෘතිය යනු ගසක ව්‍යුහය ආකාරයට (ධූරාවලිය) පිළියෙල වූ දත්ත සමුදාය ආකෘතියකි. මෙම ව්‍යුහයේදී දෙමාපිය දරු සම්බන්ධතා ආකාරයට දත්ත හා තොරතුරු එකිනෙකට සම්බන්ධ වේ. ධූරක ආකෘතියේදී දත්ත පවත්වාගෙන යනු ලබන්නේ ධූරාවලි ආකෘතියට අනුව වේ. මෙහි දත්ත සැකැස්ම යටිකුරු කරන ලද ගසක ආකෘතිය ගනී. මෙහි පාදය ලෙස තනි වගුවක් ක්‍රියා කරයි. අනිකුත් වගු එහි අතු ශාඛා ලෙස ක්‍රියා කරයි. දෙමාපිය දරු සම්බන්ධතාවයට අනුකූල සම්බන්ධතාවක් පවතී. එනම් දරුවාට එක් දෙමව්පියෙන් සිටින අතර දෙමව්පියන්ට දරුවන් කිහිපයක් සිටිය හැක.


මෙහිදී පහළ මට්ටමේ වගුවක තොරතුරු ලබාගැනීමේදී පාදමය වගුවේ සිට පිළිවෙළින් පහළට යා යුතු වේ.

ජාල ආකෘතිය (Network Model)

ජාල ආකෘතිය යනු ධූරක ආකෘතියේ උප කුලකයක් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව එය එකිනෙකට සම්බන්ධ වූ අතු ශාඛා සහිත ගස් රාශියකට සමාන කළ හැකිය. ඉහත දෙමාපිය සම්බන්ධතාවයට අනුව මෙහිතී එක් දරුවෙකුට දෙමව්පියන් කිහිපදෙනෙකු සිටිය හැකිය.



මෙවැනි පද්ධතියක් පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම ප්‍රායෝගිකව අපහසු කාර්යයකි. බොහෝ විට මෙය  පරිගණක ක්‍රම ලේඛකයන් භාවිතා කරයි.

වස්තු සම්බන්ධක ආකෘතිය (Object Relational Model)

මෙයද සාමාන්‍ය සම්බන්ධක ආකෘතියට බොහෝ සෙයින් සමාන වේ. මෙය විස්තෘත සම්බන්ධක ආකෘතිය ලෙසද හැඳින්වේ. නමුත් මෙහිදී දත්ත සමුදාය කළමනාකරණය සඳහා පයිතන් (Python), ජාවා (Java), C++ වැනි වස්තු නැඹුරු භාෂාවක් භාවිතා කරයි. මුල් ආකෘති වලට ජය ගැනීමට නොහැකි වූ පරිගණක ආශ්‍රිත නිර්මාණකරණය (Computer Aided Drawing), භූගෝලීය තොරතුරු පද්ධති (Geographic Information Systems) බහු මාධ්‍ය ආචයන පද්ධති (Multi Media Storage System) වැනි අංශ ජය ගැනීමට මෙම ආකෘතියට හැකි විය.

ක්‍රමලේඛනය සඳහා මූලික පදනම

අපට සාමාන්‍ය ජීවිතයේ දී විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. අපි ඒවාට විවිධ ආකාරයට විසඳුම් සොයාගනිමු. පරිගණකයක් භාවිතයෙන් ගැටළුවක් විසඳීමට ක්‍රමලේඛයක් සකස් කළ යුතු වේ. මෙය සකස් කිරීමට පෙර ගැටළුව විසඳන ආකාරය පියවරෙන් පියවර ලියා ගැනීමෙන් විසඳුම තේරුම් ගැනීම පහසු වේ. මෙසේ පියවරෙන් පියවර ලියාගත් විසඳුම ඇල්ගොරිතමයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ ලියාගත් ඇල්ගොරිතමයන් ඉදිරිපත් කිරීම සඳහා මෙවලම් භාවිතා කෙරේ. ඒවා නම්.
  1. ගැලීම් සටහන්
  2. ව්‍යාජ කේත
ගැලීම් සටහන්.
 ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් ව්‍යුහගත නොවන ලෙස ඉදිරිපත් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කෙරේ. ඒ සඳහා පහත සඳහන් විවිධ රූපමය සංකේත භාවිතා කෙරේ.

ආරම්භය/අවසානය (Start/End)



ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය පෙන්වීමට මෙම සංකේතය භාවිතා කරයි.

​සැකසුම (Process)


දත්ත සැකසීමේ ක්‍රමයක් පෙන්වීමට මෙම සංකේතය භාවිතා කරයි.

ආදාන/ප්‍රතිදාන (Input/Output)



දත්ත ආදානය හා ප්‍රතිදානය පෙන්වීමට මෙම සංකේතය භාවිතා කරයි.

තීරණ ගැනීම (Decision)

 

තීරණ ගැනීම නිරූපණය කිරීම සඳහා මෙම සංකේතය භාවිතා කරයි.

අනු සැකසුම (Sub Process)



ප්‍රධාන සැකසුමකට පරිබාහිරව සිදුවන ඊට අදාළ වෙනත් සැකසුම් නිරූපණය කිරීම සඳහා මෙම සංකේතය භාවිතා කරයි.

ගැලීම් රේඛා (Flow Lines)



රූපමය සංකේත එකිනෙකට සම්බන්ධ කිරීම හා ගැලීම සිදුවන දිශාව පෙන්වීමට මෙම සංකේතය භාවිතා කරයි.

සම්බන්ධක (Connector)




ගැලීම් සටහනක කොටස් සම්බන්ධ කරගැනීම නිරූපණය සඳහා මෙම සංකේතය භාවිතා කරයි.

උදාහරණ 1.
එකිනෙකට වෙනස් සංඛ්‍යා දෙකක් ලබාගෙන විශාලතම සංඛ්‍යාව ප්‍රතිදානය කරන්න.


උදාහරණ 2.
සංඛ්‍යා පහක් ලබාගෙන ඒවායේ එකතුව ප්‍රතිදානය කරන්න.


ව්‍යාජ කේත (Pseudo Codes)

පරිගණක වැඩසටහන් සකස් කිරීමේදී ක්‍රමලේඛකයාට වඩාත් පහසුවෙන් ඇල්ගොරිතමය තේරුම් ගැනීම සඳහා ව්‍යාජ කේත භාවිත කරයි. මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කර උපදෙස් මාලාව සකස් කෙරේ. මෙම වචන කිසිදු ක්‍රමලේඛ භාෂාවකට භාවිතා කරන වචන නොවූවත් ඒවා බොහෝ දුරට ඒ හා සමාන බවක් පෙන්වයි. මෙහිදී පහත සඳහන් ප්‍රකාශන භාවිතා කෙරේ.

1. තෝරාගැනීමේ ප්‍රකාශන (Selection Statements)

IF Then ප්‍රකාශනය

උදාහරණ
IF marks>=50 Then
       Display "Pass"
Else
       Display "Fail"
Endif

2. පුණරාවර්තක ප්‍රකාශන (Repetitive Statements)

මෙම ප්‍රකාශන යම් උපදෙස් මාලාවක් යම් වාර ගණනක් නැවත නැවත කිරීම සඳහා භාවිතා කෙරේ.

a) For Next පුණරාවර්තනය.
මෙම ප්‍රකාශනය යම් උපදෙස් මාලාවක් නියමිත වාර ගණනක් නැවත නැවත කිරීමට භාවිතා කෙරේ.

උදාහරණ
සංඛ්‍යා දහයක එකතුව ලබාගැනීම.
For Count = 1 to 10
          Input num
          Total=Total+num
Next Count

b) While Do පුණරාවර්තනය
යම් උපදෙස් මාලාවක් නොදන්නා වාර ගණනක් නැවත නැවත කිරීමට මෙම ප්‍රකාශනය භාවිතා කෙරේ. මෙහිදී යම් කොන්දේසියක් මුලදී පරීක්ෂා කර එය සත්‍යව පවතිනතුරු නැවත කිරීම සිදු කෙරේ.

උදාහරණ
සංඛ්‍යා සමූහයක් ලබාගෙන ඒවායේ එකතුව ලබා ගන්න. (සෘණ සංඛ්‍යාවක් ලබාදුන් පසු නැවත නැවත කිරීම නවතන්න)
While num >0 Do
         Input no
         Total=Total+no
Endwhile

c) Repeat Until
මෙම ප්‍රකාශණය යම් උපදෙස් මාලාවක් නොදන්නා වාර ගණනක් නැවත නැවත කිරීමට භාවිත කෙරේ. මෙහිදී පුණරාවර්තනය කිරීමට අවශ්‍ය කොටස අවසානයේදී යම් කොන්දේසියක් පරීක්ෂා කර එය අසත්‍යව පවතිනතුරු නැවත, නැවත කිරීම සිදු කෙරේ.

උදාහරණ
බින්දුවට වැඩි සංඛ්‍යා සමූහයක් ලබාගෙන ඒවායේ එකතුව ලබා ගන්න. (බින්දුව ලබා දුන් විට ලූපය නතර කෙරේ)

Repeat
      Input no
      Total=Total+no
Until no<0

ගැලීම් සටහන්වල භාවිතා කළ උදාහරණ දෙක ව්‍යාජ කේත භාවිතා කර ලියා දක්වමු.
Input num1, num2
If num1>num2 Then
       Display num1
Else
       Display num2

උදාහරණ
a) For Next ප්‍රකාශණය භාවිතා කර
Total=0
For Count=1 to 5
            Input num
            Total=Total+num
Next Count
Display Total

b) Whole Do ප්‍රකාශනය භාවිතා කර
Total=0
Count=0
While Count <5 Do
      Input num
      Total=Total+num
      Count=Count+1
Endwhile

c) Repeat Until ප්‍රකාශනය භාවිතා කර
Total=0
Count=0
Repeat
      Input num
      Total=Total+num
      Count=Count+1
Until Count =5
Display Total

While Do ප්‍රකාශනය හා Repeat Until ප්‍රකාශනය For Next ප්‍රකාශනය වෙනුවට භාවිතා කළ හැකි බව ඉහත උදාහරණ වලින් පැහැදිලි වේ.



Friday, May 10, 2013

තාර්කික ද්වාර (Logic Gates) හා ඒවාට අදාළ සත්‍යතා වගු (Truth Tables)


තර්ක ආදාන (Logic Inputs) එකක් හෝ වැඩි ගණනක් සඳහා තනි තර්ක ප්‍රතිදානයක් (Single Logic Output) ලබා දීමට තාර්කික මෙහෙයුමක් (Logical Operation) සිදුකරන උපාංග තර්ක ද්වාර ලෙස හැඳින්වේ. මෙහිදී බූලියන් තර්ක යොදාගනු ලබයි.
ප්‍රායෝගික වශයෙන් තර්ක ද්වාර ඉලෙක්ට්‍රොනික උපාංග ලෙස නිපදවා ඇත්තේ දියෝඩ (Diode) හා ට්‍රාන්සිස්ටර (Transistor) භාවිතයෙනි. තවද මෙම තර්ක ද්වාර, ප්‍රතියෝජක (Relays) සහ යාන්ත්‍රික ආකාරවලටද නිපදවීමටද පුළුවන.

සත්‍යතා වගු. (Truth Tables)

තර්ක ද්වාරයක හැසිරීම විස්තර කෙරෙන වගු විශේෂයකි. තර්ක ද්වාරවලට තිබිය හැකි සියලු ආදාන සංයෝජන හා ඊට අදාල ප්‍රතිදාන වල ලැයිස්තුවක් ලෙස සත්‍යතා වගුවක් හැඳින්විය හැක.

තර්ක ද්වාර (Logic Gates)


1. NOT තර්ක ද්වාරය (Logical Negation/Inverter)


NOT තර්ක ද්වාරයේ තර්ක ආදානය සත්‍ය වන විත තර්ක ප්‍රතිදානය අසත්‍ය වේ. තර්ක ආදානය අසත්‍ය වන විට තර්ක ප්‍රතිදානය සත්‍ය වේ.

ෂඩ් අපවර්තකය (Hex Inverter-IC)

ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක්, ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ටොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා NOT ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.


2. OR තර්ක ද්වාරය.

A හා B තර්ක ආදානයන් දෙකම අසත්‍ය අවස්ථාවේ පමණක් F තර්ක ප්‍රතිදානය අසත්‍ය වේ. අනෙකුත් සියලුම අවස්ථාවල තර්ක ප්‍රතිදානය සත්‍ය වේ.



ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා OR ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.

3. AND තර්ක ද්වාරය.


AND තර්ක ද්වාරයේ තර්ක ආදානයන් සියල්ලම සත්‍ය නම් පමණක් තර්ක ප්‍රතිදානය සත්‍ය වේ. අනෙකුත් සියලුම අවස්ථාවල තර්ක ප්‍රතිදානය අසත්‍ය වේ.


ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා AND ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.

4. XOR තර්ක ද්වාරය


XOR තර්ක ද්වාරය තර්ක ආදානයන් සමාන වන විට තර්ක ප්‍රතිදානය අසත්‍ය වන අතර, තර්ක ආදානයන් දෙක අසමාන වූ විට තර්ක ප්‍රතිදානය සත්‍ය වේ.


ඉහත ආකාරයේ අනුකලිත පරිපථපයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා XOR තර්ක ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.

ඒකබද්ධිත තර්ක ද්වාර (Combinational Logic Gates)

මූලික තර්ක ද්වාරයක් වන NOT තර්ක ද්වාර සමඟ අනෙක් මූලික ද්වාර තුන වෙන වෙනම සංයෝජනය වීමෙන් සෑදි ඇති ද්වාර තුන සංයෝජිත තර්ක ද්වාර ලෙස නම් කරනු ලැබේ.

1. NOR තර්ක ද්වාරය


OR තර්ක ද්වාරය සඳහා ලැබෙන ප්‍රතිදානයේ නැතාර්ථය (Negation) මෙම ද්වාරයේ ප්‍රතිදානය ලෙස ලැබේ.

ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා NOR තර්ක ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.

2. NAND තර්ක ද්වාරය.

AND තර්ක ද්වාරය සඳහා ලැබෙන ප්‍රතිඵලයේ නැතාර්ථය මෙම ද්වාරයේ ප්‍රතිදානය ලෙස ලැබේ.

ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා NAND තර්ක ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.

3. XNOR තර්ක ද්වාරය.


XOR තර්ක ද්වාරය සඳහා ලැබෙන ප්‍රතිදානයේ නැතාර්ථය මෙම ද්වාරයේ ප්‍රතිදානය ලෙස ලැබේ.


ඉහත ආකාරයේ අනුකලිත පරිපථයක් ආලෝක විමෝචක දියෝඩ සහ විදුලි සැපයුමක් භාවිතා කර ඉලෙක්ට්‍රොනික වැඩ පුවරුවක පරිපථයක් ගොඩනගා XNOR තර්ක ද්වාරයක ක්‍රියාව අධ්‍යයනය කළ හැක.


පරිගණකයේ ඉතිහාසය.


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය ප්‍රධාන කාල වකවානු හතරකට බෙදිය හැකිය.
  1. පූර්ව යාන්ත්‍රික යුගය (1450ට පෙර)
  2. යාන්ත්‍රික යුගය (1450-1840)
  3. විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840-1940)
  4. විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා)
  • ක්‍රි. පූ. 3000 පමණ ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිතා කළ බව කියැවේ.
  • 1642 දී බ්ලේස් පැස්කල්  (Blaise Pascal) විසින් ප්‍රථම යාන්ත්‍රික කැල්කියුලේටරය වන පැස්කලයින් (Pascaline) යන්ත්‍රය සොයා ගන්නා ලදී. ඉන් සිදුකළහැකිවූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණි.
  • 1674දී ගොඩ්ෆිඩ් විල්හෙල්ම් වොන් ලිබ්නිස්ට් (Gottfried Wilhelm Von Leibnitz) නමැති ජර්මන් ජාතික විද්‍යාඥයා පැස්කලයින් යන්ත්‍රය වැඩිදියුණු කොට ගුණ කිරීම සහ බෙදීම කළ හැකි තත්වයකට පත් කළේය. මේ සඳහා සිදුරුපත් (Punch Cards) නමැති සංකල්පය භාවිතා කර ඇත.
  • 1830 දී චාල්ස් බැබේජ් (Charles Babbage) විසින් ගණිත කර්ම කළ හැකි සහ දත්ත ගබඩා කළ හැකි විශ්ලේෂක එන්ජිම (Analytical Engine) නිර්මාණය කරන ලදී. අද භාවිතා වන පරිගණකවල ඇති ව්‍යුක්ත ආකෘති (Input, Process, Output) සංකල්පය පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මොහු විසිනි. එනිසා සමහරෙක් ඔහු "පරිගණකයේ පියා" ලෙස හඳුන්වති. ඔහුගේ එම කාර්යයට සහාය වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව (Lady Ada Augasta Lovelace) ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව ලෙසද හැඳින්වේ.
  • 1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගැනීම නූතන පරිගණක තාක්ෂණය සඳහා මුල්ගල තැබීමක් විය.
  • 1939දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ හොවර්ඩ් ඒකන් (Howard Aiken) විසින් ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය වන "ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය" (Automatic Sequence Controlled Calculator) නැතහොත් මාර්ක් 1 (Mark 1) නිපදවන ලදී.
  • 1946 දී නිපදවන ලද එනියැක් (ENIAC - Electronic Numerical Integrator and Calculator) යන්ත්‍රය පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිය පරිගණකය ලෙස හැඳින්විය.
  • 1949 දී නිපදවන ලද එඩ්වැක් (EDVAC - Electronic Discrete Variable Automatic Computer) යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිය පරිගණකය ලෙස සැලකේ.
  • 1947 දී ට්‍රාන්සිස්ටරයේ උපතත් සමඟ පරිගණකයේ පළමු පරම්පරාව අවසාන විය. (1940-1956) පරිගණකයේ පළමු පරම්පරාව ලෙසින් සැලකේ.
  • ට්‍රාන්සිස්ටර යොදාගෙන තැනූ පරිගණක දෙවන පරම්පරාවේ පරිගණක ලෙසින් සැලකේ.
  • 1964 දී ට්‍රාන්සිස්ටරවල එකතුවෙන් සෑදූ අනුකලිත පරිපථවල (IC - Integrated Circut) පැමිණීමත් සමඟ පරිගණක ප්‍රමාණයෙන් සහ මිලෙන් අඩු වූ අතර ඒවායේ වේගය වැඩි විය. අනුකලිත පරිපථ යොදාගෙන තැනූ පරිගණක තුන්වල පරම්පරාවේ (1964-1971) පරිගණක ලෙස හැඳින්වේ. කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්යය ඉටුකිරීමට සමත් සිලිකන් චිප (Silicon Chips) නිපදවීමට ද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැඩිදියුණු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස LSI (Large Scale Integration) හා VLSI (Very Large Scale Integration) නම් චිප බිහිවිය.
  • මෙම කාලවකවානුවේදී දහස් ගණන් අනුකලිත පරිපථ, සිලිකන් චිපයක් තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණය දියුණු වීමත් සමඟ, ක්ෂුඳු සකසනය (Processor) බිහි විය. මේවා යොදා තැනූ පරිගණකවල වේගය හා කාර්යක්ෂමතාව බෙහෙවින් වැඩි වූ අතර, මිල හා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය. 1975දී MIT ආයතනය මඟින් ALTAIR 8800 ක්ෂ්ද්‍ර පරිගණකයක් නිපදවන ලදී. මේ අතර 1976 දී IBM සමාගම, IBM-PC නමින් ප්‍රථම පුද්ගල පරිගණකය නිපදවන ලදී. ඉන්පසු ඇපල් පරිගණක සමාගම විසින් 1984 දී Macintosh පරිගණකය නිපදවීම පරිගණක ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයකි.
හතරවන පරම්පරාවට අයත් පරිගණක භාවිතා කරන්නාට ඉතා සිත් ඇදගන්නාසුළු ආකර්ෂණීය වූ චිත්‍රක අතුරු මුහණත් යොදා (GUI-Graphical User Interface) සංවර්ධනය කළ ඒවා විය.

ඇපල් සහ IBM සමාගම්, පුද්ගල පරිගණක නිෂ්පාදකයන් අතර ප්‍රකට විය. IBM සමාගමේ සකසන සැපයුම්කරුවා වූයේ Intel සමාගමයි. Intel, Cyrix, IDT, AMD සහ Motorola යන සමාගම් සකසන නිපදවන ආයතනයන් වේ.

පරිගණක තාක්ෂණයේ අනාගත දිශානති.

බුද්ධිමත් මිනිසෙකුගේ ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන පරිගණකයක් නිපදවීම වර්තමාන විද්‍යාඥයින්ගේ බලාපොරොත්තුවයි. පරිගණක විද්‍යාවේදී මෙම ක්ෂේත්‍රය කෘතිම බුද්ධිය (Artificial Intelligence) ලෙස හැඳින්වේ. එකම අවස්ථාවේදී වෙනස් සිතුවිලි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තීරණ ගැනීම, කටහඬවල් වෙන වෙනම අඳුනාගැනීම ආදී සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකිය. රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය වාහන නිපදවීම වැනි දේවල් කෘතිම බුද්ධිය උපයෝගී කොටගෙන දැනටමත් සිදුවෙමින් පවතී.
අණුක පරිගණක (Molecular Computer)/DNA පරිගණක වැනි ජෛව පරිගණක (Biological Computers) තාක්ෂණයන් පිළිබඳ සංකල්ප දැනටමත් බිහිවෙමින් පවතින අතර, අනාගතයේදී ඒවා යථාර්ථ බවට පත්විය හැක. තවද වසර 2015 පමණ වන විට ලොව ප්‍රථම ක්වන්ටම් (Quantum) පරිගණකය ඉදිරිපත් කිරීම විද්‍යාඥයින්ගේ එක් අරමුණක් වී ඇත. මේවා පස්වන පරම්පරාවේ අභිමතාර්ථ ලෙස සැලකිය හැකිය.

සකසන වල පරිණාමය.


ට්‍රාන්සිස්ටරය

ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමට පෙර පරිගණකය නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්ව ය. මෙම වෑල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් රත්වී පිලිස්සීයාම නිසා බොහෝ ගැටලු ඇති විය. ට්‍රාන්සිස්ටර කීපයක් එකතුකර තැනූ පරිපථයක්, චිපයන් නමින් හැඳින්වේ. මෙම චිප යොදාගැනීමෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකි විය. මෙම චිප තුළ අර්ධ සන්නායක තාක්ෂණයෙන් නිපද වූ පරිපථ විශාල සංඛ්‍යාවක් ඇත.



තර්ක කුල (Logic Families)

  1. Diode Logic/Diode Resistor Logic (DL/DRL)
  2. Direct Coupled Transistor Logic (DCTL)
  3. Resistor Transistor Logic (RTL)
  4. Resistor Capacitor Transistor Logic (RCTL)
  5. Diode Transistor Logic (DTL)
  6. Emitter Coupled Logic (ECL)
  7. Transistor Transistor Logic (TTL)
  8. CMOS Logic (Complementary Metal Oxide Semiconductor)

සකසනයක පිරිවිතර.

බසය (BUS)

පරිගණකයක් තුළ උපාංග අතර හෝ පරගණක අතර උපාංග තුළ දත්ත සංඥය වශයෙන් විදුලිය ගමන් කරන භෞතික මාර්ගය බසය ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් බස් ප්‍රභේද තුනකි.

1. දත්ත බසය (Data Bus)
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යන බසය මේ නමින් හැඳින්වේ.

2. යොමු බසය (Address Bus)
මතකයේ තිබෙන දත්ත කියවීම සඳහා හෝ මතකයට දත්ත ලිවීම සඳහා හෝ කිසියම් ස්ථානයක් තෝරාගනු ලබයි. මෙම ස්ථානයේ ලිපිනය කරා දත්ත යොමු කරනු ලබන්නේ යොමු බසය මඟිනි.

3. පාලන බසය (Control Bus)
පාලන බසය මඟින් පරිගණකයේ විවිධ ස්ථානවලට පාලන සංඥා ගෙනයනු ලැබේ.

රෙජිස්තර (Registers)

ගණිත හා තාර්කික ඒකකයේ සංඥා තාවකාලිකව ගබඩා කර තැබීම සඳහා භාවිතා කරන ස්ථානය රෙජිස්තර ලෙස හැඳින්වේ.

සකසනයක හෝරා සීඝ්‍රතාව (Clock Speed of CPU)

සකසනයකට ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කරන වේගය එහි සීඝ්‍රතාව ලෙස සැලකේ. නවීන පරිගණකයක හෝරා සීඝ්‍රතාව මෙගා හර්ට්ස් (MHz) හෝ ගිගා හර්ට්ස් (Ghz) වලින් මනිනු ලැබේ.

පරිගණක වදනක ප්‍රමාණය (Word Size)

පරිගණකයක භාවිත වන යන්ත්‍ර භාෂාවේ වචනයක අඩංගු බිට් ගණන එහි විශාලත්වය හෙවත් වදන් ආයාමය වශයෙන් සැලකේ.

පරිගණක වර්ගීකරණය.

පරිගණක වර්ගීකරණය ආකාර කිහිපයකින් දැක්විය හැකිය.
  1. විශාලත්වය අනුව
  2. භාවිතා කරන තාක්ෂණය අනුව
  3. භාවිතා කරන කාරණය අනුව.
1. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය.
  •  සුපිරි පරිගණක (Super Computers)
  • මේන්ෆ්‍රේම් පරිගණක (Main Frame Computers)
  • මිනි පරිගණක (Mini Computers)
  • මයික්‍රෝ පරිගණක (Micro Computers)
 2. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය.
  • සංඛ්‍යාංක පරිගණක (Digital Computers)
  • ප්‍රතිසම පරිගණක (Analog Computers)
  • දෙමුහුම් පරිගණක (Hybrid Computers)
3. භාවිතා කරන කාරණය අනුව පරිගණක වර්ගීකරණය.
  • පොදු කාර්යය (General Purpose)
  • විශේෂ කාර්යය (Special Purpose)
ක්ෂුද්‍ර පරිගණක වර්ගයට ගැනෙන පුද්ගල පරිගණක (Personal Computers) පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකි ය.

  • ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computers)
  • වැඩහල් (Workstations)
  • ලැප්ටොප් පරිගණක (Laptop Computers)
  • පාම්ටොප් පරිගණක (Palmtop Computers)
  • නෝට්බුක් පරිගණක (Note Book Computers)
  • පුද්ගල සංඛ්‍යාංක සහකරු (Personal Digital Assistant or Digital Diary - PDA)
  • සාක්කු පරිගණක(Pocket Computers)

අනෙකුත් තාක්ෂණයන් කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම


විදුලි තාක්ෂණය (Electrical Technology)

විදුලි තාක්ෂණයේදී විදුලි බල ජනනය, විදුලි බල සම්ප්‍රේෂණය හා විදුලි දෝෂ විමර්ෂණය වැනි දේ සඳහා අතීතයේදී භාවිතා නොකළ ද, එහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දියුණුවත් සමඟ නොයෙකුත් යෙදුම් මෘදුකාංග භාවිතයෙන් ඉහත කාර්යයන් අද ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කෙරේ. අදවන විට නිහිත පද්ධති (Embedded Systems) භාවිතයද ජනප්‍රිය වෙමින් පවතී.

වෛද්‍ය විද්‍යාව

මුල් කාලයේදී රෝගියා වෛද්‍යවරයා වෙත ගොස් රෝග ලක්ෂණ පැවසීමෙන් පසු වෛද්‍යවරයා රෝගය නිර්ණය කර අවශ්‍ය ඖෂධ නියම කරන ලදී. නමුත් අද වන විට රෝගියාට වෛද්‍යවරයා වෙත නොගොස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් වෛද්‍යවරයා සමඟ කතා කළ හැකි අතර උපදෙස් ද ප්‍රතිකාර ද ලබාගත හැක. රෝග නිර්ණය කිරීමේ විවිධ අවස්ථාවන්හිදී මෙම තාක්ෂණය බහුලව උපයෝගී කර ගනී. මෙහි ප්‍රතිඵලයන් ලෙස ඉතා ඉක්මනටත්, නිවැරදිවත් අවශ්‍ය වාර්තා ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් නිර්මාණය වූ ප්‍රතිලාභ.
 සමහර රටවල නිෂ්පාදනය වැඩිකිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වක්‍ර අයුරින් ආධාර වේ. පුද්ගලික සහ රාජ්‍ය අංශවල ආර්ථික සම්බන්දතා වැඩි දියුණු කිරීම සඳහා, නිෂ්පාදන කාර්යය බල ගැන්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉවහල් වී ඇත.

e-වාණිජ්‍ය.

මෙහිදී ආදායම් වැඩිකිරීම සහ මිල අඩුකිරීම් දැකගත හැකි මුදල් ඉපයීම සිදු කරයි.

e-ආණ්ඩු

  • මුදල් ඉතිරි කිරීම
  • කාර්යක්ෂමතාව වැඩි කිරීම
  • රාජ්‍ය අංශවල විනිවිද භාවය වැඩි කිරීම.

e-අධ්‍යාපනය

රැකියා අවස්ථා වැඩි කරයි. දුරස්ථ ආකාරයට කැමති වේලාවක ඉගෙනුම සඳහා උපකාරී වෙයි. මාර්ගගත පරීක්ෂණ සඳහා අවස්ථාව ලබා දෙයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මත වාද.


සමාජීය මත වාද.

සමාජය සංවිධානය වී ඇති ආකාරයට තොරතුරු තාක්ෂණය බලපාන ආකාරය සහ පුද්ගලයින් එකිනෙකා අතර ප්‍රතික්‍රියාව සහ හැසිරීම්.

ආර්ථික මත වාද.

ආර්ථිකය කෙරෙහි තොරතුරු තාක්ෂණයේ බලපෑම.
නිමැවුම් ක්ෂේත්‍ර වලදී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම. (Computer Aided Manufacturing)

පාරිසරික මත වාද.

  • පරිසරය කෙරෙහි තොරතුරු තාක්ෂණයේ බලපෑම.
  • නිව්යෝර්ක් වැනි නගරවල පරිගණක නිෂ්පාදනාගාර ආශ්‍රිත නගරයන්හී වැසියනට හෘදයාබාධ, වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවී ඇති බව අනාවරණය වී ඇත. (මූලාශ්‍රය: www.environmental.org, www.cns.org)
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය, අපද්‍රව්‍ය ලෙස පරිසරයට මුදා හැරීම.

සදාචාරාත්මක මත වාද.

නිවැරදි සහ වැරදි දේ කිරීම කෙරෙහි තොරතුරු තාක්ෂණයේ බලපෑම.

නෛතික මත වාද.

පෞද්ගලිකත්වය සහ මෘදුකාංග කොල්ලකෑම.
පෞද්ගලිකත්වය යනු පරිගණක දත්ත බැංකුවල ඇති පුද්ගලික තොරතුරු වැරදි ලෙස යොදාගැනීමෙන් ආරක්ෂා කිරීම වේ.
භාවිතා කරන්නාට පිටපත් කිරීමේ අයිතිය නැති මෘදුකාංගවල නීතිමය නොවන හා හිමිකමක් නැති පිටපත් ලබා ගැනීම මෘදුකාංග කොල්ලකෑම යනුවෙන් හැඳින්වේ.

නව සොයාගැනීම්, ලිඛිත හා කලාත්මක කාර්යයන් කරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් යටතේ සිදුවේ.
පේටන්ට් යනු යම්කිසි සොයාගැනීමක්, නිපදවීමක්, ලිඛිත හෝ කලාත්මක කාර්යයක් වෙනුවෙන් එය සොයාගත් හෝ නිර්මාණය කරන ලද පුද්ගලයාට හෝ ආයතනයකට ආණ්ඩුව විසින් නියමිත කාලයක් තුළ දෙනු ලබන අයිතිවාසිකමක් වේ. එය අන් අයට සංස්කරණය කිරීමය, විකිණීමට හෝ බෙදා හැරීමට නීතිමය අයිතියක් නොමැත.

ප්‍රකාශන හිමිකම. (Copyright)

ප්‍රකාශන හිමිකම යනු කර්තෘට තම ද්‍රව්‍ය පිටපත් කිරීමට, මුද්‍රණය කිරීමට සහ විකිණීමට ඇති අයිතියකි. මින් මුල් පිටපත, නාට්‍යානුසාර, සංගීතමය සහ කලාත්මක කාර්යයන්, මුද්‍රිත කාර්යයන් පටිගත කරන ලද ශබ්ද, චිත්‍රපට, විකාශනයන් හා පරිගණක වැඩසටහන් ආරක්ෂා කරයි. පිටපත් කිරීමේ අයිතිය ඇත්තාට පමණක් පිටපත් කරන ලද මෘදුකාංග විකිණීම, නැවත නිෂ්පාදනය, බෙදා හැරීම කළ හැකිය. විදුලි සංදේශ මඟින් මෘදුකාංග යැවීම හෝ පිටපත් කර මහජනයාට ප්‍රදර්ශනය කිරීම සඳහා පිටපත් කිරීමේ අයිතිය ඇති කර්තෘගේ කැමැත්ත ලබාගත යුතුය. අන්තර්ජාලය හරහා යවන හෝ වෙබ් සර්වර් (Server) වල ගබඩා කරන පිටපත් කරන ලද ද්‍රව්‍ය හෝ අනෙක් මාධ්‍යයන්ට ලබාදෙන ද්‍රව්‍ය සඳහා ද ඉහත කරුණු අදාළ වේ.

වෙන අයෙකුගේ නිර්මාණයක් තමාගේ සේ කියා පෑම. (Plagiarism)

මෘදුකාංග, දෘඩාංග, විද්‍යුත් ලේඛන අනවසරයෙන් උපුටා ගැනීම යනු වෙනත් කෙනෙකුගේ අදහස් සහ සිතිවිලි තමන්ගේ මුල් පිටපතක් ලෙස භාවිතා කිරීමය.

බලපත්‍ර සහිත මෘදුකාංග. (Licensed Software)

පිටපත් කිරීමෙන් ආරක්ෂා කරන ලද මෙය බුද්ධිමය දේපළ ගණයට අයිති වේ.
මෘදුකාංගය නිකුත් කරන්නාහට එහි අයිතිය සතු වේ.

සන්නිවේදන හා බැඳි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT in communication)

1. ඉදිරිපත් කිරීම් (Presentation)
යම් මාතෘකාවකට අදාළ අන්තර්ගතය පරිගණකය ඇසුරෙන් හෝ වෙනත් අයුරකින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන ක්‍රියාවලිය මේ නමින් හැඳින්වේ.

2. නිවසේ සිට කාර්යාලීය කටයුතු කිරීම (Telecommuting)
නිවසේ සිට සන්නිවේදන ජාල ඔස්සේ කාර්යාලීය කටයුතු කිරීම.

3. වීඩියෝ සම්මන්ත්‍රණ (Video Conferencing)
වෙනස් ස්ථානවල සිටින දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් අතර ශ්‍රව්‍ය හා දෘෂ්‍ය දත්ත සම්ප්‍රේෂණය කරමින් පරිගණක ජාල ඇසුරෙන් සංවාදයක් පැවැත්වීම "වීඩියෝ සම්මන්ත්‍රණ" වේ.

ප්‍රචාරණය හා බැඳි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT in Advertising)


මෙය ක්‍රම තුනක් යටතේ සිදුවේ.
  1. නිවැවුම් ප්‍රචාරණය. (Product Advertising)
  2. ව්‍යාපාරික ප්‍රචාරණය. (Business Advertising)
  3. සේවා ප්‍රචාරණය. (Service Advertising)

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය හා බැඳි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.


1. පරිගණකය ආධාරයෙන් ඉගෙනීම (Computer Aided Learning)
සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවලට විකල්පයක් ලෙස පරිගණකය, අධාරකයක් ලෙස භාවිතා කර ඉගැන්වීම.

2. පරිගණක පාදක ඉගෙනීම (Computer Based Learning)
අධ්‍යාපන ක්‍රියාවලියේදී පරිගණකය ප්‍රධාන සංරචකයක් ලෙස භාවිතා කිරීම.

3. පරිගණක පාදක ඇගයීම (Computer Based Assessment)
ඇගයීම් කටයුතු සඳහා පරිගණක භාවිතා කිරීම. 



පරිගණක පද්ධතියක වර්ගීකරණය සහ අවශ්‍යතා.

පරිගණක පද්ධතියන මූලික සංරචක හතරක් ඇත. ඒවා නම්,
  1. දෘඩංග
  2. මෘදුකාංග
  3. ස්ථිරාංග
  4. ජීවාංග

මෙම මූලික සංරචක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළින් ඒවාහී අවශ්‍යතාව හා ඒවා එකිනෙකට වෙන්කර හඳුනාගැනීමේ හැකියාව ලබා ගනිමු.

1. දෘඩාංග

පරිගණක පද්ධතියක භෞතික උපාංග දෘඩාංග ලෙස හැඳින්වේ. දෘඩාංග වල මූලික ලක්ෂණ වන්නේ අතින් ඇල්ලීමට හැකි වීම සහ පහසුවෙන් වෙනස් කළ නොහැකි වීමය. පරිගණක පද්ධතියක් සැලකූ විට මධ්‍යම සැකසුම් ඒකකය, යතුරු පුවරුව සහ සංදර්ශකය ප්‍රධාන දෘඩාංග ලෙස සැලකෙන අතර අනික් සියළුම දෘඩාංග පරිගණක උපාංග ලෙස මූලිකව හැඳින්වේ.

2. මෘදුකාංග.

යම් අරමුණක් කරා පරිගණක පද්ධතියක් මෙහෙයවීම සඳහා පිළිවෙළකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. යෙදීම අනුව පරිගණක මෘදුකාංග වර්ග කීපයකි. ඒ පිළිබඳව මෘදුකාංග වර්ගීකරණයේදී සලකා බලමු.

3. ස්ථිරාංග

පරිගණක පද්ධතියක සමාරම්භය සඳහා මූලිකව අවශ්‍යවන ක්‍රමලේඛ ස්ථිරාංග ලෙස හැඳින්වේ. මෙම ස්ථිරාංග, දෘඩාංග නිපදවීමේදීම දෘඩාංග තුළ යොදන අතර ඒවා පසුකාලීනව වෙනස් කළ නොහැකි තත්වය පවතී. උදාහරණ ලෙස, පරිගණක පඨන මාත්‍ර මතකය ගත හැක. තවද රෙදි සෝදන යන්‍ත්‍ර, ක්ෂුද්‍ර තරංග උදුන, ජංගම දුරකථන හා අයිපොඩ් ආදී උපකරණ තුළ ද ස්ථිරාංග යොදා ඇත.

4. ජීවාංග

යමෙකු පරිගණක පරිශීලනය කරමින් සිටීද, ඔහු හෝ ඇය එම මොහොතේ ජීවාංග ලෙස හඳුන්වනු ලැබේ.

පරිගණක දෘඩාංග වර්ගීකරණය.

පරිගණක දෘඩාංග ලෙස ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග සහ සන්නිවේදන උපාංග යනාදී වර්ග ප්‍රධාන කොට දැක්විය හැකිය. මෙහිදී මෙම දෘඩාංග වෙන් වෙන් වශයෙන් වැඩිදුරටත් සලකා බලමු.

ආදාන උපාංග

ආදාන උපාංග යනු පරිගණක පද්ධතියකට දත්ත සැපයීමට භාවිතා කරන උපාංගයන්ය. උදාහරණ ලෙස යතුරු පුවරුව, ස්ථානීය උපාංග, සුපරික්සකය, මයික්‍රොෆෝන්, සංඛ්‍යාංක කැමරා, වෙබ් කැම් ආදී ලෙස කිහිපයක් දැක් විය හැක.

යතුරු පුවරුව.
අක්ෂර, අංක, සංකේත සහ විධාන පරිගණක පද්ධතියකට ආදානය කිරීම සඳහා යතුරු පුවරුව යොදා ගනී. සාමාන්‍ය යතුරු ලියනයක භාවිතා කරන යතුරු පුවරු ආකෘතියේම වැඩි දියුණු අවස්ථාවක් ලෙස පරිගණක යතුරු පුවරුව සැලකිය හැකි මුත් එහි ක්‍රියාකාරීත්වය ඉලෙක්ට්‍රොනිකව සිදු වේ. මෙහි තිබෙන යතුරු තද කිරීම මඟින් ඊට ආවේනික විදුලි සංඥාවක් සකසනයට ලැබේ. සකසනය එම සංඥාව ASCII කේතකය බවට පරිවර්තනය කර පරිගණක පද්ධතියට ආදාළ අදානය ලබා දේ. අද වෙළඳ පොළෙන් රැහැන් සහිත මෙන්ම රැහැන් රහිත යතුරු පුවරුද ලබාගත හැකිය.

ස්ථානීය උපාංග. (Pointing Devices)
පරිගණක තිරය මත ප්‍රදර්ශනය වන පික්ස සහ පික්සල කාණ්ඩ වලින් සැදුම්ලත් නිරූපක (Icons)ප්‍රවේශ කරමින් ඒවාට අනුබද්ධිත ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීම ස්ථානීය උපාංගවල ප්‍රධාන කාර්යය වේ. මේ සඳහා මූසිකය, ස්පර්ශ තිරය, ස්පර්ශ තලය, මාර්ග ගුලාව, ජෝයිස්ටික් ආදිය උදාහරණ වේ. මේවා මඟින් සකසනය කරා සංඥා යැවීම සඳහා කේබල හෝ ආලෝක කිරණ භාවිතා කෙරේ.

සුපරීක්ෂකය. (Scanner)
දෘඪ පිටපතක ඇති ලිඛිත සටහන් සහ රූප, පරිගණක පද්ධතියකට ආදානය කිරීම සඳහා සුපරීක්ෂකය භාවිතා කෙරේ. මෙහිදී ලේඛන සහ රූප යන දෙකම රූපමය ආකාරයෙන් පරිගණක මතකයේ ගබඩා වීම විශේෂයකි. නමුත් යම් සුපරීක්ෂකයක ප්‍රකාශ අක්ෂර කියවීමේ [OCR(Optical Character Recognition)] පහසුකම් ඇත්නම් Times New Roman, Arial වැනි ඉංග්‍රීසි අක්ෂර භාවිත කර ඇති ලේඛණයන් රූපමය ආකාරයෙන් නොව ලේඛන ආකාරයෙන්ම පරිගණක මතකයේ ගබඩා වේ. මේ නිසා සුපරීක්ෂකය භාවිතයෙන් ලේඛන පහසුවෙන් සංස්කරණය කිරීමේ හැකියාවක් ලැබේ.

සංඛ්‍යාංක කැමරා.
ඡායාරූප ගබඩා කිරීම තාක්ෂණය අනුව කැමරා වර්ග දෙකක් ඇත.
  1. සේයා පටල කැමරා.
  2. සංඛ්‍යාංක කැමරා.

සංඛ්‍යාංක කැමරාවක මතකයේ තැන්පත් වී ඇති ඡායාරූප පරිගණකයකට ආදානය කළ හැකි නිසා සංඛ්‍යාංක කැමරාවද ආදාන උපාංගයක් වේ. සංඛ්‍යාංක කැමරාවන්ද දෙආකාරයකින් යුක්ත වේ.

  1. නිෂ්චල ඡායාරූප සංඛ්‍යාංක කැමරා.
  2. චලන රූප සංඛ්‍යාංක කැමරා.

අද වෙළඳ පොළෙහි විවිධ මාදිලියේ සංඛ්‍යාංක කැමරා දැකිය හැකිය. එමෙන්ම ජංගම දුරකථන තුළද මෙම සංඛ්‍යාංක කැමරා දක්නට ඇත.

වෙබ් කෑම්.
වෙබ් කෑම් යනු චලන රූප සංඛ්‍යාංක ලෙස සජීව විකාශය කිරීමට යොදාගන්නා කැමරා වර්ගයකි. මෙය කරලියට පැමිණීමත් සමඟ
  1. අන්තර්ජාල දුරකථන සම්බන්ධතාවකදී පුද්ගලයින් සජීවීව දිස්වීම
  2. වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම

ආදී ලෙස සන්නිවේදන තාක්ෂණයේ නව පිටුවක් පෙරලිනි. මෙම වෙබ් කෑම් වෙළඳ පොළෙන් මිලට ගෙන බාහිරව පරිගණකයට සම්බන්ධ කළ හැකිය. එලෙසම වෙබ් කෑම් සවි කරන ලද නවීන ලැප්ටොප් පරිගණකයන්ට වෙළඳ පොළෙහි දක්නට ඇත.


ප්‍රතිදාන උපාංග

ප්‍රතිදාන උපාංග යනු පරිගණක පද්ධතියකින් සකස් කරන ලද තොරතුරු සහ සංඥා පිටතට ලබා දීමට භාවිතා කරන උපාංගයන්ය. උදාහරණ ලෙස සංදර්ශකය, මුද්‍රණ යන්ත්‍රය, ශබ්ද විකාශන උපකරණ ආදිය දැක්විය හැක.

සංදර්ශකය (Monitor)
මෙය පරිගණක තිරය ලෙස ද හැඳින්විය හැකිය. තාක්ෂණයට අනුව අද භාවිතා වන ජනප්‍රිය සංදර්ශක වර්ග දෙකකි.
  1. කැතෝඩ කිරණ සංදර්ශකය.
  2. ද්‍රව ස්ඵටික සංදර්ශකය.

මේවායේ වාසි සහ අවාසි හඳුනාගෙන භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. තවද පොදුවේ ගත්කළ සංදර්ශකයක් හා බැඳුනු පහත ගුණාංග පිළිබඳව දැනුවත් වීම ද වැදගත් කොට සැලකිය හැකිය.

  1. තිරයේ ඒකකයක් තුළ පිළිඹිබු කළ හැකි පික්සල ගණන.
  2. පිළිඹිබු කළ හැකි වර්ණ ගණන.
  3. පිටතට නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය.

මුද්‍රණ යන්ත්‍රය.
පරිගණකයක ඇති විවිධ මාදිලියේ මෘදු පිටපත්, දෘඩ පිටපත් බවට පත් කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරයි. ඝටන මුද්‍රණ යන්ත්‍ර හා නොඝටන මුද්‍රණ යන්ත්‍ර ලෙස ක්‍රියාකාරීත්වයන් දෙකකින් යුත් මුද්‍රණ යන්ත්‍ර ඇත. මෙහිදී ඝටන මුද්‍රණ වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකාරිත්වයේදී ශබ්ද නගයි. අද බහුලව භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර වර්ග හතරකි.

  1. තිත් න්‍යාස (Dot-Matrix)මුද්‍රණ යන්ත්‍රය (ඝටන ම්‍රද්‍රණ)
  2. තීන්ත පිහිරි (Inkjet) මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)
  3. බුබුළු පිහිරි (Bubblejet) මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)
  4. ලේසර් මුද්‍රණ යන්ත්‍රය (නොඝටන මුද්‍රණ)

මේවායේ එකිනෙකට වෙනස් තාක්ෂණ ක්‍රම භාවිතා කරන අතර මුද්‍රණය සඳහා තීන්ත සපයන ආකාර ද විවිධ වේ. මෙම මුද්‍රණ යන්ත්‍ර භාවිතයේදී ද පහත කරුණු පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

  1. දෘඩ පිටපතේ ගුණාත්මක බව.
  2. පිටපතක් සඳහා දැරිය යුතු වියදම.
  3. පිටපතක් සඳහා ගත වන කාලය.
  4. භාවිතයේදී නගන ශබ්දය.

ශ්‍රවණ උපකරණ.

පරිගණකයෙන් පිටතට ලබා දෙන ශබ්ද ශ්‍රවණය සඳහා භාවිතා කරන උපකරණ මෙහිදී කෙටියෙන් සලකා බලමු. එම උපකරණ ශබ්ද විකාශන හා හිසේ පැළඳිය හැකි ශ්‍රවණ උපකරණ ලෙස දෙආකාරයකින් දැකිය හැකිය. මෙහිදී හිසේ පැළඳිය හැකි ශ්‍රවන උපකරණ භාවිතයේදී පැළඳි පුද්ගලයාට පමණක් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබේ.

මතක උපාංග.

පරගණක පද්ධතියක දත්ත, තොරතුරු සහ උපදෙස් කෙටි කාලීනව හෝ දීරඝ කාලීනව හෝ තැන්පත් කර තැබීම සඳහා යොදා ගන්නා උපාංග මතක උපාංග ලෙස හැඳින්වේ. මෙම මතක උපාංග ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් දැක්වේ.
  1. සසම්භාවි ප්‍රවේශ මතකය. (අභ්‍යන්තර) - Random Access Memory (RAM)
  2. පඨන මාත්‍ර මතකය. (අභ්‍යන්තර) - Read Only Memory (ROM)
  3. ආචයන උපාංග (බාහිර) - Storage Devices

සසම්භාවී ප්‍රවේශ මතකය.
පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේදී අදාළ මෙහෙයුම් පද්ධතිය දෘඪ තැටිය තුළින් සසම්භාවී ප්‍ර වේශ මතකය තුළට ආදානය කර ගැනේ. ඊට අමතරව සැකසීමට භාජනය වීමට පෙර දත්ත හා උපදෙස් තාවකාලික ලෙස මතක තබාගන්නේද මෙම සසම්භාවී ප්‍රවේශ මතකය තුළය. මෙහි විශේෂත්වය වන්නේ විදුලි බලය සැපයී තිබෙන තුරු පමණක් මතකය රඳා පැවතීමය. මෙම මතක කියවීමට හා ලිවීමට හැකි මතක ලෙස ද හැඳින්වේ.

පඨන මාත්‍ර මතකය.

පරිගණකය බල ගැන්වීමේදී අවශ්‍ය වන සුවිශේෂී උපදෙස් සමූහයක් එය නිපදවීමේදීම ස්ථිර මතකයක අඩංගු කරනු ලැබේ. මේවා පඨන මාත්‍ර මතක ලෙස හැදින්වේ. මෙම පඨන මාත්‍ර මතක, මව් පුවරුවට සවිකර ඇත. මෙම මතක කියවීමට පමණක් හැකි මතක ලෙස ද හැඳින්වේ. මෙහි ගබඩා කර ඇති උපදෙස් ස්ථිරාංග ලෙස සැලකේ.

ආචයන උපාංග.
ආචයන උපාංග යනු දත්ත ස්ථිරව ම ගබඩා කරන මාධ්‍ය වන අතර ඒවා ද්වීතීයික මතක ලෙස හැඳින්වේ. මෙහි ගබඩා කරන දත්ත පසු අවස්ථා වලදී නැවත නැවත කියවීම හා වෙනස් කළ හැක. මේ සඳහා උදාහරණ ලෙස දෘඪ තැටිය, සුසංහිත තැටිය, නම්‍ය තැටිය, පෑන් ධාවකය ආදිය සැලකිය හැක. මේවා තාක්ෂණයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් විවිධ වේ.

පාලන හා සැකසුම් උපාංග.

පරිගණකයේ විශාලම හා ප්‍රධානතම කාර්ය භාර්යන් දෙකක් වන ගණනය කිරීම් සහ පාලන කටයුතු ඉටුකර දෙන්නේ මව් පුවරුවට සවිකර ඇති අර්ධ සන්නායක උපාංගයකිනි. මෙය මධ්‍ය සැකසුම් ඒකකය හෙවත් සකසනය ලෙස හැඳින්වේ. පරිගණකය වැඩි දියුණු වීමක් කෙරෙහි අවධානය යොමු වීමකදී වැඩි සැලකිල්ලකට යොමු විය යුත්තේ ද මෙම මධ්‍ය සැකසුම් එකකයයි. මෙහි විකාශනය පිළිබඳ කතා කිරීමේදී යොදා ගත් තාක්ෂණය, ගණනය කිරීමේ වේගය, ධාරිතාව, විශාලත්වය සහ වර්ගය වැදගත් කොට සැලකිය හැකිය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය හෝරා ස්පන්ද වේගය ලෙස හැඳින්වෙන අතර එය මෙගා හර්ට්ස්, ගිගා හර්ට්ස් ආදී සංඛ්‍යාත වලින් නිරූපණය කරනු ලැබේ. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ.
  1. පාලන ඒකකය. (Control Unit)
  2. ගණිතමය හා තාර්කික ඒකකය. (Arithmetic Logic Unit - ALU)
  3. රෙජිස්තර ආරාව. (Register array)

පාලන ඒකකය.
  • පරිගණක පද්ධතියක සියලු කටයුතු හැසිරවීම.
  • මතකයේ ඇති උපදෙස් ලබා ගෙන ඒවා විකේතනය කිරීම.
  • ඊට අදාළව පද්ධතියේ කොටස්වලට සංඥා නිකුත් කිරීම.
ගණිතමය හා තාර්කික ඒකකය.
  • සියලුම ආකාරයේ ගණිතමය කටයුතු සිදු කිරීම.
  • දත්ත සැසඳීම.

රෙජිස්තර ආරාව
  • තාර්කික ඒකකයට යවන තෙක් දත්ත සහ උපදෙස් තාවකාලිකව තැන්පත් කර තපා ගැනීම.
  • සකස් කරන ලද තොරතුරු, ප්‍රධාන මතකයට යවන තෙක් තැන්පත් කිරීම.

සන්නිවේදන උපාංග.

පරිගණක තාක්ෂණය හා බැඳුනු ඉහත සඳහන් ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මතක උපාංග, පාලන හා සැකසුම් උපාංග වලට අමතරව පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය සංයුක්තකරණය වීමෙන් බිහි වූ තවත් මූලික උපාංග සමූහයක් ඇත. ජාලකරණ අතුරුමුහුණත් පත (NIC), මොඩමය, බහු පඨ කාරකය (Multiplexer), බ්ලූ ටූත් ඇඩැප්ටරය ආදිය ඒ සඳහා උපාංග කීපයකි.

පරිගණක මෘදුකාංග වර්ගීකරණය.

පරිගණක පද්ධතිය යම් අරමුණක් කරා මෙහෙයවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමූහය පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ. මෘදුකාංග පහසුවෙන් වෙනස් කළ හැකි අංග වේ. ප්‍රධාන වශයෙන් පරිගණක මෘදුකාංග වර්ග දෙකකි.

  1. පද්ධති මෘදුකාංග (System Software)
  2. යෙදුම් මෘදුකාංග (Application Software)

පද්ධති මෘදුකාංග
මෙහිදී පද්ධති මෘදුකාංග ක්‍රියාකාරීත්වය අනුව තුන් ආකාරයකින් හඳුනාගත හැකිය. එනම්,
  1. මෙහෙයුම් පද්ධති (Operating Systems)
  2. භාෂා පරිවර්තක (Language Compilers)
  3. උපයෝගීතා මෘදුකාංග (Utility Software)

යෙදුම් මෘදුකාංග
පරිගණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාව ඉටුකරලීම සඳහා පරිගණකය තුළ ක්‍රියාත්මක කළයුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හැඳින්වේ. මේ සඳහා උදාහරණ කීපයක් වනුයේ වදන් සැකසුම් මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාං, දත්ත සමුදාය කලමනාකරණ පද්ධති මෘදුකාංග ආදියයි. තවද පද්ධති මෘදුකාංග මෙන් නොව, දිනෙන් දින නවතම යෙදුම් මෘදුකාංග වෙළඳපොළට එකතු වෙමින් පවතී.

හිමිකම් ආශ්‍රිත මෘදුකාංග සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග.
අද ලෝකයෙහි මෘදුකාංගයන්හී අයිතිය සම්බන්ධයෙන් අවස්ථා දෙකක් දක්නට ලැබේ.
  1. හිමිකම් ආශ්‍රිත මෘදුකාංග
  2. විවෘත මූලාශ්‍ර මෘදුකාංග

හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. (Proprietary Software)
යම් පාර්ශවයකට නීත්‍යානුකූලව අයිතියක් ඇති මෘදුකාංග මෙම ගණයට අයිති වේ. වෙනත් පුද්ගලයෙකුට මෙම මෘදුකාංග භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදා හැරීමට අවස්ථාව ඇත්තේ අයිතිකරු හා එළැඹි යම් එකඟතාවන් මත පමණි. මෙම මෘදුකාංග හා නීතිමය පදනමක් බැඳී පවතී. හිමිකම් ආශ්‍රිත මෘදුකාංග හඳුන්වා දුන් ආයතන කීපයක් ලෙස මයික්‍රොසොෆ්ට්, මැක්රොමීඩියා, ඇඩෝබි යනාදිය නම් කළ හැකිය.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Open Source Software)
නීත්‍යානුකූල අයිතියකට හිමිකම් නොකියන මෘදුකාංග මෙම ගණයට අයිති වේ. මෙම මෘදුකාංග භාවිතා කිරීමට, බෙදා හැරීමට හෝ වෙනස් කිරීමට හෝ අවස්ථාව මුළුමනින්ම හෝ යම් ප්‍රමාණයකට නීතිමය වශයෙන් අවසර දී ඇත. මෙම මෘදුකාංග නිදහස් මෘදුකාංග ලෙස ද හඳුන්වයි.


Thursday, May 9, 2013

ආදාන හා ප්‍රතිදාන

පරිගණකයට දත්ත අදානය (Input) කරනු ලැබේ. එසේ ආදානය කළ දත්ත එහි මතකයේ ගබඩා කළ ක්‍රමලේඛයක් යටතේ සකසා අර්ථවත් තොරතුරු බවට පත් කෙරේ. මෙය දත්ත සැකසීම (Process) ලෙස හැඳින්වේ.
අවසානයේදී, පරිගණකයට ආදානය කළ දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලෙස ප්‍රතිදානය (Output) කරයි.



ඉහත දක්වා ඇත්තේ තොරතුරු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා වූ ක්‍රියාවලියේ වියුක්ත ආකෘතිය (Abstract Model) වේ. එහිදී පද්ධතිය ආදාන අග්‍රයේදී දත්ත ලබා ගන්නා අතර ප්‍රතිදාන ලෙස තොරතුරු සැපයීම සඳහා සැකසුම් ඒකකයේදී අර්ථාන්විත ක්‍රියා පිළිවෙලක යෙදේ. මෙම අර්ථාන්විත ක්‍රියා පිළිවෙල පරිගණකයට සපයනු ලබන්නේ කිසියම් ක්‍රම ලේඛනයක් එහි මතකයේ තැන්පත් කිරීමෙනි.

තොරතුරු වල වටිනාකම:

  • තොරතුරු වල වටිනාකම එහි අදාළත්වය මත රඳා පවතී.
  • තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ඒවා ලැබෙන මොහොතේම එයට වැඩි වටිනාකමක් ඇත.
  • කාලය ශූන්‍යයට ආසන්න වන අවස්ථාවේදී තොරතුරු වල වටිනාකම උපරිම වේ.
  • කාලය ගත වීමත් සමඟම තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වී අවසානයේ ඒවා දත්ත බවට නැවත පත් වේ.

මෙය තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය (The Golden Rule of Information) ලෙස හැඳින්වේ.


දත්ත සහ තොරතුරු

දත්ත

අවිධිමත් අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයකි.

දත්ත පිහිටන ආකාර.


1. ලිඛිත සටහන් (Text)

  • සංඛ්‍යාංක
  • අක්ෂර (a..z, A..Z, අ, ආ, ඇ...)
  • විරාම ලකුණු (:, ., ;, ...,)
  • විශේෂ සංකේත (#, $, @)

2. දෘෂ්‍ය (Visual)

3.ශ්‍රව්‍ය (Audio)


දත්ත වර්ගීකරණය.

දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වෙන් කරනු ලැබේ.

1. ප්‍රමාණාත්මක දත්ත. (Quantitative Data) - දත්ත සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ හැක.
  • අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක.
  • සංඛ්‍යාත්මකව අනු පිළිවෙලට සැකසිය හැක.
  • සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.

2. ගුණාත්මක දත්ත (Qualitative Data) - සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්ත.
උදා:- හැඩය, පාට, ශබ්දය.

තොරතුරු

අදාළ පුද්ගලයෙකුට අර්ථවත් වන සේ සකස් කරන ලද දත්ත තොරතුරු නම් වේ.

තොරතුරු වල ගති ලක්ෂණ‍

  • අර්ථවත් වේ
  • විශ්මය දනවන සුළුය.
  • පෙර දැනුම නවීකරණය කරයි.
  • අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
  • ඒවා කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.

තොරතුරු වල අදාළත්වය.

තොරතුරුවල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
උදා:- සංඛ්‍යාවක වර්ග මූලය දශම ස්ථාන 4කට සෙවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අනවශ්‍ය වූවත් එය විද්‍යාඥයෙකුට වැදගත් වේ.

දැනුම (Knowledge)

  • අධ්‍යාපනයෙන් හෝ පලපුරුද්දෙන් පුද්ගලයෙකු ලබන දක්ෂතා සහ විශේෂඥ බවයි.
  • විෂයයක් ප්‍රායෝගිකව භාවිතයේදී හා න්‍යායාත්මකව තේරුම් ගැනීමේදී මනසේ සංරක්ෂණය වන්නා වූ යම් දෙයකි.